එන්ඩොමෙට්‍රියෝසිස් පිළිබඳ දැනුවත් කිරීමේ මාසය – 2019 අගෝස්තු
එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) කියන රෝගය පිළිබඳ ඔබ අසා තිබෙනවා ද? එය බොහෝ විට ප්‍රජනන වියේ හෙවත් වයස අවුරුදු 15-50 අතර කාන්තාවන්ට වැළඳෙන රෝග තත්වයක්. නම අසා නැති වුණාට එය දියවැඩියාව වගේ සුලබ රෝග තත්වයක්. ලෝකයේ කාන්තාවන්ගෙන් 5-10% අතර ප්‍රමාණයකට මෙම රෝගය නිසා පීඩා විඳිනවා. එය ඉතා වේදනාකාරී තත්වයක්. වේදනාව ඇති වන්නේ ඔසප් වීම ආශ්‍රිතවයි.
(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)මෙම රෝගයේදී සිදුවන්නේ කුමක් ද? ගර්භාෂයේ ඇතුළත බිත්තියේ තිබෙනවා එන්ඩොමෙට්‍රීය සෛල. සෑම මසක ම ආර්තව චක්‍රයේදී ඩිම්බයක් පිටවන විට මෙම සෛල ස්ථරය සූදානම් වෙනවා සංසේචනය වූ ඩිම්බය පිළිසිඳගන්න. ඒත්, ලිංගික සංසර්ගයක් සිදු වෙලා ඩිම්බය සංසේචනය නොවුණොත් එන්ඩොමෙට්‍රීය සෛල ස්ථරය රුධිරයත් සමග ශරීරයෙන් බැහැර වෙනවා. ඒකට තමයි ඔසප් වෙනවා ය කියන්නේ.
ඉතින් එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වයේදී සිදුවන්නේ නොදන්නා හේතු මත මෙම එන්ඩොමෙට්‍රීය සෛල ශ්‍රෝණිය නම් කලාපයේ හෙවත් උකුළු ප්‍රදේශයේ තැන්පත් වීමයි. මෙසේ අසාමාන්‍ය තැන්වල තැන්පත් වන එන්ඩොමෙට්‍රීය සෛල ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයත් සමග වෙනස් වෙමින් ඔසප් වීමේදී රුධිරය වහනය කරනවා. මෙසේ ශ්‍රෝණි ප්‍රදේශයේ වහනය වන රුධිරයට පිට වී යාමට බැරි නිසා ඒවා එහි තැන්පත් වී විසප්පු වැනි ගෙඩි සාදනවා. ඒවාට ශරීර පටකවලින් ප්‍රතිචාර දක්වන විට අධික වේදනාවක් ඇති වෙනවා.
මෙයට හේතු දෙකක් තිබෙනවා. එකක් ආරය නැතිනම් ප්‍රවේණිය. එවැනි තත්වයක් තිබෙන මවකගෙන් දියණියකට මෙය පැමිණෙන්නට පුළුවන්. පරිසර දූෂණය නිසා මෙය උග්‍ර වන්නට පුළුවන් බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත සේනානායක පෙන්වා දෙනවා. කෘෂි රසායනික හේතුවෙන් අප ගන්නා ආහාරවල අඩංගු වන කැඩ්මියම් නම් බැර ලෝහය සහ පොලිතින් හා ප්ලාස්ටික් නොනිසි පරිදි දහනය කිරීම නිසා නිකුත් වන ඩයොක්සින් රසායනික විසින් මෙම තත්වය උග්‍ර කරන බව ඔහු පෙන්වා දෙනවා.
එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය නිසා අධික වේදනාවට අමතරව මඳසරුභාවය ද ඇති විය හැකියි. ඇතැම් විට ලිංගික එක්වීම්වලදී දැඩි වේදනාකාරී තත්වයන් ද ඇති වේ. හඳුනාගෙන ප්‍රතිකාර නොකිරීම නිසා මෙය ප්‍රජනන පද්ධතියෙන් බැහැර මහා අන්ත්‍රයට හෙවත් මහ බඩවැලට, උදරයේ ස්නායුවලට, වකුගඩුවලට පවා බලපෑම් ඇති කළ හැකියි. මෑතදී එක්තරා ශ්‍රී ලාංකික නිළියකගේ පවා වකුගඩුවක් මේ හේතුව මත ඉවත් කිරීමට සිදු වුණා.
මෙම රෝග තත්වයට සම්පූර්ණ ප්‍රතිකාරයක් දැනට නැති බව වෛද්‍ය චන්දන ජයසුන්දර පෙන්වා දුන්නා. එබැවින් කළ යුතු වන්නේ හැකි ඉක්මණින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කිරීමයි. එමගින් රෝගය පාලනය කරගත හැකියි. වයස අවුරුදු 50 පමණ ඉක්මවා ගිය විට ආර්තවහරණය හෙවත් ආර්තවය නතර වීම සිදු වූ විට රෝගයේ බලපෑමත් අඩු වෙනවා. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් රෝගය පිළිබඳ අදහසක් වෛද්‍යවරුන්ට ලබාගත හැකියි. එහෙත්, එය හරියට ම හඳුනාගත හැක්කේ ලැපරොස්කොපි නමින් හැඳින්වෙන පරීක්ෂණයක් මගිනුයි.
වෛද්‍ය ප්‍රබෝධන රත්නායක පෙන්වා දුන්නේ මෙම රෝගය හඳුනාගැනීම සඳහා සාමාන්‍යයෙන් පමා වන කාලය වසර අටක් පමණ වන බවයි. ඔසප් ගැටලු පිළිබඳ කතා නොකිරීම, ඒ ගැන අවධානය යොමු නොකිරීම, වේදනා සාමාන්‍ය තත්වයකැයි සලකා ඉවසා සිටීමට යොමු වීම නිසා රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට බාධා සිදු වන බව ඔහු පෙන්වා දුන්නා. ඇතැමෙකුට අධික වේදනා ඇති නොවුණත් මෙම රෝග තත්වය පැවතිය හැකියි. බොහෝ විට මෙය මඳසරුභාවයට හෙවත් දරුවන් ලැබීම පමා වීමට හේතුවක්.
රෝගය උත්සන්න වූ විට සිදුකිරීමට සිදු වන ශෛල්‍යකර්මය ඉතා බරපතල එකක් බව ශල්‍ය වෛද්‍ය වෛද්‍ය ධම්මික සිල්වා පෙන්වා දුන්නා. අංශ ගණනාවක වෛද්‍ය සහාය අවශ්‍ය මෙම ශල්‍යකර්මය සඳහා ඇතැම් විට දවසක් පමණ ගතවිය හැකි බව ඔහු පෙන්වා දුන්නා. මේ වන විට එන්ඩොමෙට්‍රියෝසිස් ශල්‍ය කර්ම සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් කළුබෝවිල රෝහලේ තිබෙනවා. එහි මසකට ශල්‍යකර්ම 50ක් පමණ සිදුකරන බව වෛද්‍ය ධම්මික සිල්වා පැවසුවා. එහෙත්, ඒ වෙනුවෙන් දිගු පොරොත්තු ලේඛනවල සිටින්නට රෝගීන්ට සිදුවෙනවා.
ශ්‍රී ලංකා එන්ඩොමෙට්‍රියෝසිස් සංගමය විසින් මෙම රෝගය පිළිබඳ දැනුවත් කිරීම සඳහා 2019 අගෝස්තු මාසය ජාතික එන්ඩොමෙට්‍රියෝසිස් පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස නම් කර තිබෙනවා.