ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවීමට මහින්ද රාජපක්ෂ රජය ගෙන තිබූ තීරණය වෙනස් කරමින් 2015 බලයට පත් වූ නව රජය චක්‍රලේඛයක් නිකුත් කළේ ය. මෙයට පක්ෂ මෙන් ම විපක්ෂ කොටස් ද රටේ සිටිති.
සාමාන්‍යයෙන් ජාතික ගීයක් යනු ඉතිහාසය, සම්ප්‍රදායන් හා ජන අරගල වර්ණනා කරන, රටේ රජය විසින් හෝ මහජන සම්ප්‍රදාය විසින් හෝ නිල ජාතික ගීය ලෙස පිළි ගනු ලබන දේශාභිමානී සංගීත හා පද සංයෝජනයකි. ඒ සඳහා නීතිමය පසුබිමක් ඇත.
ලොව බොහොමයක් ජාතික ගී ගමන් තාලවලින් හෝ ගීතිකා තාලවලින් යුක්ත ය. ලතින් ඇමරිකානු රටවල ජාතික ගී වැඩියෙන් ඔපරා ස්වරූපී වන අතර රටවල් කීපයක ජාතික ගී සරළ, විනෝදාත්මක ස්වරූපයකින් යුක්ත ය. ඒවා සාමාන්‍යයෙන් රචනා කර තිබෙන්නේ ඒ රටේ සුලබ ම භාෂාවෙනි. එහෙත්, විශේෂයෙන් ම බහු සංස්කෘතික රටවල කැපී පෙනෙන වෙනස්කම් තිබේ.
මාලදිවයිනේ ජාතික ගීය නිර්මානය කළේ ලංකාවේ ප්‍රවීණ සංගීතඥයකු වන ඩබ්ලිව්.ඩී. අමරදේවයන් විසිනි. එහිදී ඔහු පදනම් කර ගත්තේ auld lang syne නම් සුප්‍රකට ස්කොට් නව අවුරුදු ගීයයි.
එම ගීයේ සිංහල පරිවර්තනයක් මෙතනින් >>>
ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකරයන් පළ කර ඇති අදහසකට අනුව එය වනාහි ආනන්ද සමරකෝන්ගේ නිර්මානාත්මක දිවියේ පරිහානි අවධියේදී නිර්මානය කරන ලද ඒකමිතියකින් තොර සංකල්පනාවකි. එහි මුලදී ලංකා මාතාව ආමන්ත්‍රණය කරමින් ගැයුණ ද පසුව එය වෙනස් වේ.
මෙම පද මාලාවේ සංස්කෘත වචන රැසක් භාවිතා වේ.
1951 නොවැම්බර් 22දා, ශ්‍රීමත් එඩ්වින් විජේරත්න විසින් සභාපතිත්වය දරන ලද කමිටුවක් විසින් කිවියර හා සංගීතවේදී ආනන්ද සමරකෝන් විසින් පබඳින ලද ‘නමෝ නමෝ මාතා’ ගීය නිල වශයෙන් ජාතික ගීය ලෙස පිළි ගත්තේ ය. විද්‍යාර්ථියකු වූ පන්ඩිත එම්. නල්ලතම්බි විසින් මෙම ගීය දෙමළ බසට පරිවර්තනය කරන ලදී.
මුල් ගීයේ මුල් පද වූ ‘නමෝ නමෝ මාතා, අප ශ්‍රී ලංකා’ යන වදන් සම්බන්ධයෙන් 1950 දශකයේදී මතභේදයක් ඇති වූ අතර 1961දී ගීය වත්මන් ‘ශ්‍රී ලංකා මාතා, අප ශ්‍රී ලංකා’ ලෙස සුළු වශයෙන් සංශෝධනය කරන ලදී. ඒ සඳහා ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන්ගේ අනුමැතිය ලබා ගත්තේ නැත. ඒ පිළිබඳ ආනන්ද සමරකෝන් සංතාපයට පත් වූ බවද වාර්තා වේ.
මෙම ගීයේ බුද්ධිමය දේපල හිමිකම ආනන්ද සමරකෝන් විසින් මුද්‍රණාල හිමියකුට ණයට හිලව් ලෙස විකුණා තිබිණි. එහෙයින් එය ජාතික ගීය ලෙස තෝරා ගන්නා විට ආනන්ද සමරකෝන්ට එහි හිමිකමක් නො තිබිණි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ හත්වන වගන්තියෙන් ‘ශ්‍රී ලංකා මාතා’ ගීයට ව්‍යවස්ථාමය පිළිගැනීම ලබා දෙන ලදී. ඒ අනුව ජාතික ගීය ලෙස සැලකෙන්නේ සිංහල පදමාලාව පමණක් වුව ද දෙමළ ජාතික ගීය භාවිතා කිරීම දිගට ම තිබිණි. 1956දී සිංහල පමණක් එකම රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීමෙන් පසුව පවා ජාතික ගීයේ දෙමළ ස්වරූපය භාවිතාවේ තිබුණු බව සඳහන් කිරීම වටී. හැටගණන්වලදී ඩඩ්ලි සේනානායක අගමැතිවරයා යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී ජාතික ගීයේ සිංහල මෙන් ම දෙමළ ස්වරූපය ද ගායනා කරන ලදී. අලුතින් ඉදි කරන ලද ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය මණ්ඩපය විවෘත කිරීම පිණිස අගමැතිනි සිරිමා බණ්ඩාරනායක 1974දී යාපනයට පැමිණි අවස්ථාවේදී ද භාෂා දෙකෙන් ම ජාතික ගීය ගැයිණි.