ජාතිකවාදය කරපින්නගෙන විදේශ රැකියාවලින් ජීවත් වීම

මාලේ දිවයිනේ සිට හුලුමාලේ දූපත යා කරමින් ඉදි කරන ලද අලුත් පාලම

අජිත් පැරකුම් ජයසිංහ

ක්‍රිස්ටි නුවර ඉඳන් මාලෙ ඇවිත් දැන් අවුරුදු 20ක් තිස්සෙ මාලෙ ෆාමසියක් කරන හිතවත් රසවතෙක්. බණ්ඩාර කුරුණෑගලින් ඇවිත් දිගු කලක් මාලෙ රැකියාව කරන තවත් එවැනි රසවතෙක්. අවුරුදු පතා වැඩ වීසා දීර්ඝ කර ගනිමින් මාලෙ හෝටල්වල, ව්‍යාපාරවල රැකියාව කරන දහස් ගණනක් ලාංකිකයන් අපට හැම තැනම හමු වෙනවා. ඔවුන් ලංකාවට විදේශ විනිමය ගෙනෙනවා වගේ ම මාලදිවයිනේ වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයට වෘත්තිකයන් ලෙස සුවිසල් දායකත්වයක් සපයනවා.

මාලදිවයින් ජාතිකයන්ටත් රැකියා හිඟයි. විශේෂයෙන් ම උගත් මධ්‍යම පන්තියටත් අමාරුකම් තිබෙනවා. ඒ වුණාට මාලදිවයින් ජාතිකයන් ලාංකික ශ්‍රමිකයන් එපා කිව්වොත් මුලින්ම පාර වදින්නෙ ඒ රටේ ආර්ථිකයට. ඊළඟට ලංකාවට. මේ මිනිසුන්ට රස්සා කෝ?

ලංකාවෙ බොහෝ දෙනෙක් විදේශ ශ්‍රමිකයන්ට විරුද්ධයි. හැබැයි අපේ ප්‍රධාන විදේශ විනිමය ආදායම විදේශ රැකියා. ලෝකෙ අනෙක් රටවල මිනිසුනුත් ලංකාවෙ අර කීව කට්ටිය වගේ හිතුවොත් ලංකාවට මොනව වෙයි ද?

විදේශ ශ්‍රමිකයන් රටේ ප්‍රධාන ම විදේශ විනිමය උත්පාදන මාර්ගයයි. 2017 වසරේදී ඔවුන් රටට ඩොලර් බිලියන 7.16ක් රැගෙන ආවා.

මේ ලිපියත් කියවන්න
මැද පෙරදිග ගෘහ සේවයෙන් උපයන මුදලින් ජොලි කරන ලංකාව >>>

දැන් කියන්න එපා, අර ජාතියෙ වෘත්තිකයන් ආවට කමක් නැහැ, මේ ජාතිය තමයි අප්සෙට් බ්ලා, බ්ලා, බ්ලා. ගෝලීය ආර්ථිකයක ජාතිකව ලොකු පකුං දාන්න බැහැ. හීන් නූලෙන් සමහර දේ මැනේජ් කරගන්න පුළුවන්.

ප්‍රාග්ධනයට සංචලනය වෙන්න තියෙන නිදහස ශ්‍රමයටත් අවශ්‍යයි. ජාතිකවාදය ආර්ථික තලයෙදි පරාජය වෙනවා කාලයත් එක්ක. ඒක වළක්වන්න බැහැ. දෘෂ්ටිවාදීමය වශයෙන් එක එක මට්ටම්වලින් ජාතිවාදය මත යැපෙන සියලු දෙනාට අනිවාර්යයෙන් වෙනස් වෙන්නට සිදුවෙනවා.

අපි ජාතිකවාදයෙන් ඔබ්බට දේශපාලන ප්‍රජාව පරිකල්පනය කරන්නට උත්සාහ කරන්නෙ, ජාතීන් අතර ආර්ථික ගිවිසුම්, ⁣විදේශ ඍජු ප්‍රාග්ධනය, කලාපීය සහයෝගිතා ආදිය දෙස සුබවාදී ඇසින් බලන්නෙ ඒකයි. ඒවායේ අභියෝග නැත්තෙ නැහැ. අනෙක් රටවලත් ජාතිකවාදී අරමුණු තියෙන්නට පුළුවන්. හැබැයි, මේවා අභියෝග ලෙස තේරුම් ගෙන, ලෝකය සමග සංවාදයක්, අවබෝධයක් ඇති කර ගනිමින් ඉදිරියට යන එකයි කරන්න තියෙන්නෙ. බයේ මුළුගැන්වෙන ජාතිවාදයට අපි විරුද්ධ ඒකයි.

මේකත් කියන්නට ඕනැ, සිංහලයන්ගෙ ජාත්‍යන්තරවාදය ආරම්භ වෙන පොයින්ට් එක තමයි දෙමළ, මුස්ලිම් මිනිසුන් එක්ක සංහිඳියාව.

කවරයේ ඡායාරූපය: මාලේ දිවයිනේ සිට හුලුමාලේ දූපත යා කරමින් ඉදි කරන ලද අලුත් පාලම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *