මේ ඉන්නෙ කිරුළපනේ සිද්ධාර්ථ මාවතේ පදිංචි ධර්මපාල අයියා. උපන්නේ 1936දීයි. වයස අවුරුදු 83යි. ඒත් තවම කොල්ලා වගේ කාර් පදවනවා.
“මම දැනුත් 140ට, 150ට කාර් එළවනවා,” ඔහු ආඩම්බරෙන් කියයි.
ඔහු කාර්මාට් සමාගමේ සහ රෝලන්ඩ් සමාගමේ වැඩ කළ කාර්මිකයෙක්.
“ෆොක්ස්වැගන් ගෙන්වන කාලෙත් මම එතන වැඩ කළා,” ඔහු ආඩම්බරෙන් කියයි. “මගේ කාඩ් එකේ අංකෙ 47. ”
කාර්මාට් කොම්පැනියෙන් තමයි ෆොක්ස්වැගන්, රෙනෝල්ට් වැනි කාර් වර්ග ආනයනය කර අලෙවි කළේ. රෝලන්ඩ් කොම්පැනියට බ්‍රිටිෂ් කාර් සමාගම කියලාත් කිව්වා. ඒකෙන් තමයි හිල්මන් කාර් ලංකාවට ආනයනය කර බෙදාහැරියේ.
විශ්‍රාම යාමෙන් පසුවත් ඔහු කාර් අලුත්වැඩියා කිරීම දිගට ම කරගෙන යයි. ඔහු වැඩ කරන්නේ රත්තනපිටියේ, දිවුල්පිටියේ ඔහු හඳුනන මහතකුගේ ගරාජයකයි. නිදහසේ කුරුල්ලකු සේ ජීවත් වන ඔහු පිළිවෙලකට ම නොවුණත් තවමත් ගරාජයේ වැඩට යයි.
“මං කැමති පරණ කාර්වලට. ළඟදි මං EY කාණ්ඩෙ හිට්ලර්ගෙ කාලෙ බෙන්ස් එකක් ටිප්ටොප් එකට රෙපෙයාර් කළා. මං එන්ජින්, ටිංකර්, පේන්ටිං ඔක්කොම ම වැඩ කරනවා. මේ මිනි මෝක් එකට අමතරව මා ළඟ තව සුබාරු එකක් තියෙනවා.”
ධර්මපාල උපන්නේ ගංගොඩවිලයි. දැන් ඔහු නෑදෑයන් කිසිවෙකු සමග සම්බන්ධයකින් තොරව තනිව ජීවත් වෙනවා.
මේ මිනි මෝක් කාරය ඔහු අලුත්වැඩියා කරගත් පරණ කාරයක්. “මේකෙ ඔරිජිනල් එන්ජිම එන්නේ 850 CC. දැන් මේකට 1300 CC එන්ජිමක් තියලායි තියෙන්නෙ. ළඟදි මම මැරීන් ඩ්‍රයිව් එකේ 140ට එලෙව්වා. මීටර් එහෙම ඔක්කොම වැඩ කරනවා.”
ඔහු එන්ජිම පණගන්වා ලයිට් ආදිය දල්වා මට පෙන්නුවා. කාරයේ ඇන්ජිම ක්‍රීඩාශීලී යෞවනයකින් ගෙරෙව්වා.
මත්පැන් එහෙම බොනවාදැයි මා ඇසූ ප්‍රශ්නයට ඔහු කීවේ මත්පැන් නොබිව්වත් දවසට සිගරැට් 10ක් පමණ බොන බවයි.
“මං හැමදාම හවසට මං දැන් අවුරුදු 10ක් තිස්සෙ නතර වෙලා ඉන්න නවාතැනට ගිහින් රෑට තමයි දවසෙ පත්තරේ කියවන්නෙ. කණ්ණාඩි දාන්නෙ නැහැ,” ධර්මපාල ආඩම්බරෙන් කියයි.
තනිකඩ ජීවිතයක් ගත කරන ඔහුට වැඩිහිටි යුවලකගේ නිවසේ නවාතැන් සහ රාත්‍රී ආහාර ලැබෙයි.
“හැමදාම උදේට මං බම්බලපිටියෙ සරස්වතී ලොජ් එකට එනවා කෑම කන්න.”
ඕනැ නම් එතනට ගිහින් ඔහු හමුවන්න. මටත් ඔහු හමු වුණේ දුම් දමන සාම්බාරුත්, කර කර ගා හැපෙන මසල වඩෙත් එක්ක ලොකු ඉඳිආප්ප කාලා උඩින් කහට ඇබින්දක් ලස්සනට වක්කරපු කිරි කාලකුත් බීලා එළියට බහිද්දි.