නකල්ස්; සොඳුරු චමත්කාර ගමනක අසම්පූර්ණ මතක සටහන්

චන්ද්‍ර‍ජයසිංහ

රූපවාහිනී සංස්ථාව විසින් නිර්මාණය කරන ලද අපූරු පාරිසරික වැඩසටහනක් සැරිසර. 2006 මැයි 22 රූපවාහිනී සංස්ථාවෙන් පිටත් වෙන්නෙ නකල්ස් කඳුවැටියේ තොරතුරු සොයාගෙන. අපේ කට්ටිය නිෂ්පාදක ගාමිණී පුෂ්පකුමාර, නාමල් සූරියබණ්ඩාර, කැමරා ශිල්පි ලලිත් පීරිස්, කථක නිශාන්ත කහවිට, සහායක රූපසිරි එක්ක හඬපටිගත කරන මම. මුල්ම නවාතැන වෙන්නෙ වත්තේගම ලෙබනන් වත්තෙ වතු බංගලාව. පහුවදා එතැන ඉඳන් බඹර ඇල්ල හරහා නකල්ස් කඳුවැටිය දිගේ කළුපහණ ප්‍රදේශයට. කිලෝමීටර් දහයක් විතර කූඩැල්ලන්ගෙන් පිරුණු ලිස්සා වැටෙන කඳු දිගේ දුෂ්කර ගමනක්.

මේ කතාව පටන් ගන්නෙ එතැනින්….

කළුපහණ කියන්නෙ නකල්ස් කඳුවැටියේ සරුසාරෙට එනසාල් වගාව සිද්ධ කෙරුණු ප්‍රදේශය. අක්කර සියගණනක් පැතුරුණු එනසාල් වගා කළේ මාතලේ, ඉළුක්කුඹුර අවට ව්‍යාපාරික ප්‍රජාව. මහ ගස් අතර යටි වගාවක් විදිහට තමයි එනසාල් වගා කළේ. මේ එනසාල් වතුවල තැනින් තැන වාඩි හදල තිබුණ. වාඩි කිව්වට ටකරං සෙවිලි කළ වරිච්චි බිත්ති කපරාරු කරපු පුංචි ගෙවල් කිව්වොත් හරි. මේ වාඩි තිබුණේ එක ළඟ නෙවෙයි. වාඩියක ඉඳන් අනෙක් වාඩියට කිලෝමීටරයක් දෙකක් තියෙනව. මේ හැම වාඩියකම දරවලින් වැඩ කරන පුංචි උදුනක් තිබුණ. එනසාල් කඩල උදුනේ වියලල තමයි කිලෝමීටර් හයක් හතක් ඈතින් තියෙන ගම්මානයට ගෙනි යන්නෙ. එනසාල් වතු අයිති මුදලාලි එනසාල් කඩන කලෙදි විතරයි වාඩියට එන්නෙ. ඒත් වාඩියෙ, මුදලාලිට පුංචි කාමරයක් වෙන්වෙලා තිබුණ . වාඩිය බලාගන්න මනුස්සයෙක් හිටිය. එනසාල් කඩන කාලයට පහළ ගම්මානවලින් කුලීකාරයො වැඩට එනව. සතිය දෙක වාඩියෙ නතරවෙල එනසාල් වේලල අරගෙන තමයි ඔවුන් ගම්මාන⁣යට යන්නෙ.

බඹර ඇල්ල හරහා කළුපහණට ආපු අපේ නවාතැන වුනේ කිරිබණ්ඩයියාගේ වාඩිය. කිරිබණ්ඩයියා අවුරුදු පනහකට විතර කිට්ටු කෙසඟ කඩිසර මනුස්සයෙක්. සරම කැහැපට ගසාගත් බොත්තම් පිය නොවුණු කමිසය ඇඳි නිතර බුලත්හපන ඔහුගෙ ඉනේ කැතිපිහියක්. හවස හතරෙ විතර ඉඳන් ඔහු ඉන්නෙ නොනිමෙන දරලිප ළඟ ඇනතියාගෙන. මුලින්ම අපි වාඩියෙ කොට බිත්තියකින් වට වුණු පියස්ස යට අපේ පුංචි කූඩාරම අටව ගත්ත. කැමරා, පටිගතකිරීමේ උපකරණ හැරුණු කොට උයන පිහන උපකරණ ,වොට් 500 පුංචි ජෙනරේටරය, පුංචි ගෑස් ලිප, සීමිත ඇඳුම් ආදිය වාඩියට ගෙනවිත් දුන්නෙ බරකරුවන් තුන්දෙනෙක්. ජෙනරේටරය කැමරා බැට්රි චාජ් කරන්න. ඊට අමතරව රාත්‍රියෙ වාඩියට පුංචි බල්බ් දෙකක එළිය. කිලොමීටර් හයක හතක වෙහෙසකර කඳු තරණයකින් පස්සෙ රාත්‍රී ආහාරය නිර්මාණය අපේ අතින්. උණු බත්, පරිප්පු හොද්ද, කරවල බැදුම….

පසුවදා නකල්ස් කඳුවැටියේ අසිරිය එනසාල් වගාවේ තතු අපේ කැමරාවේ සටහන් වුණෘ. කූඩැල්ලන්ගෙන් පිරුණු කැලෑරොදවල් අතරින් අති දුෂ්කර පටිගත කිරීමක්. හැන්දෑ කළුවර හවස හතර විතර වෙනකොට නකල්ස් කඳුවැටිය වෙලා ගන්නව. ඇඟ හිරිවැටෙන දැඩි සීතල, මිහිඳුම ගත වෙලාගන්නෙ උණුසුම හොයායන්න අපට බලකරමින්. ගලායන දියපාරකින් පිරවෙන, උතුරා ගලායන කිරිබණ්ඩයියාගේ වතුර ටැංකියෙන් අයිස් වතුර බාල්දි දෙකක් දාගන්නෙ දවස තිස්සෙ ඇවිදල දාඩිය හෝද ගන්න විතරමයි.

පසුදා අපේ ගමන් මග දූවිලි ඇල්ල හොයාගෙන. රූපවාහිනී කණ්ඩායමක් නකල්ස් කඳුවැටියේ දූවිලි ඇල්ල සොයා යන පළමු අවස්ථාව. බත්පාර්සල් කිහිපයක් බැඳගෙන කිරිබණ්ඩයියා පෙරටුකොටගෙන පාන්දරම අපේ ගමන පටන් ගත්ත. දිසාව පිළිබදව අවබෝධයක් තිබුණ කිරිබණ්ඩයියා අවම වශයෙන් අඩිපාරක් වත් නැති කූඩැල්ලන්ගෙන් පිරුණු කඳුවැටිය දිගේ අපිව ගෙන යනව. අපේ පුංචි කූඩාරමක් කරේ දාගෙන කැතිපිහියෙන් පාර එළිපෙහෙලි කරමින් රබර් සෙරෙප්පු දෙකක්වත් නැති හිස් අඩි තබමින් ඔහු ගමන් කළේ ගැමි අපූර්වත්වය විදහා පාමින්. අතරමග තැනින් තැන රූගත කිරීම්. කූඩැල්ලො පුළුවන් හැම වෙලාවෙම අපෙන් ලේ උදුර ගත්ත. උන් වෙනුවෙන්ම අරගෙන ගිය දුම්කොළ කුඩු, ලුණු කුඩු පොට්ටනි හුඟක් දුරට අපිට පිහිට වුණා.

අවසානයේ දූවිලි ඇල්ල උඩට අපි ළඟා වෙන කොට හවස තුනට කිට්ටු වෙල. එතැනදි දකින රූ දසුන් හරිම අපූරුයි. මිහිදුම අතරින් වල්පොලමුල්ල හුදෙකලා ගම්මානය, රිවස්ටන් , පිටවලපතන ඈතින් දකින්න පුලුවන් වුණා. දවල් බත්මුල් එතැනදි අවසන් කළා. දිය ඇල්ල අයිනෙන් ලිස්සා වැටෙන මග දිගේ දිය ඇල්ල පහළට අසීරුම ගමන. කැමරා, පටිගත කිරීමේ උපකරණ ආරක්ෂා කරගනිමින්. දිය ඇල්ල පහළට ගලාවැටුනෙ අදියර කිහිපයකට. තුන්වන අදියරට අපි ළඟා වෙනකොට අඳුර අපි වෙලා ගන්න පටන් අරන්. ආපසු දිය ඇල්ල උඩට ගිහින් වාඩියට යන්න පැය හතරක් පහක් ගතවෙනව. විසඳුම දිය ඇල්ල ළඟ ගල් තලාවක රාත්‍රිය ගතකරන එක. අපි ලඟ තිබුණ පුංචි කූඩාරම ඉඳිවෙනව. කූඩාරම අපි හත්දෙනාට උපකරණත් එක්ක යාන්තමට වාඩිවෙල ඉන්න ප්‍රමාණවත්.

අඳුරත් එක්ක වැටෙන්න පටන් ගත්ත සිරිපොද වැස්ස සීතල නාස්පුඩු අගට ගෙනවිත්…..දිය ඇල්ලේ හඬට වැසි වැටෙන හඬ යටපත් වෙල…. ආහාර හැටියට අපි ලඟ තිබුනෙ ක්‍රීම් ක්‍රැකර්, චීස් කෑලි කිහිපයක්, රට ඉඳි ටිකක් විතරයි. ඒව තිබුණේ මගේ බාරයේ. තීරණය… රාත්‍රිය ගලාහැලෙන දියඇල්ලෙන් බඩකට පුරවා ගැනීම. රාත්‍රිය පුරාම ඝන අන්ධකාරෙ එකිනෙකාට හේත්තු වෙල කුසගින්නෙ නිදිකිරා වැටෙමින් සීතල එක්ක සටන් කරමින්. දිය ඇල්ල වැටෙන හඬ, වැසි වැටෙන හඬ, සුළං හඬ, රැහැයි පළඟැටි හඬ සවන් අතරේ අරගල කරනව.

පහුවදා සීමිත ආහාර ප්‍රමාණය සමසේ බෙදා හැරෙනව. මිහිදුම් සළු අතරින් ගලාහැලෙන දූවිලි ඇල්ලේ රූ සිරි රූපවාහිනී කාචයේ සටහන් වෙනව. නිශාන්තගෙ හඬින් නකල්ස් චාරිකාවේ කැමරා කාචයට සටහන් කරගන්න අසීරු දුෂ්කරතා සංවේදීව ඔබ වෙත ගෙන දෙන්න උත්සාහයක.

දුම්බර වනපෙතේ චමත්කාරය වෙහෙස මහන්සිය නිවා දමල. දෑස් අග මැවෙන සිතුවම් අළුත් දවසකට, නැවුම් සිතුවිලිවලට ඉඩ හසර වෙන්කරල. සුදුසේලයක් සේ ගලාහැලෙන දූවිලි ඇල්ල පසු කරගෙන කිරිබණ්ඩයියාගේ වාඩියට පැය හතරක පහක දුෂ්කර ගමන පටන් ගැනෙනව .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *