ලන්දේසීන් මේ රටට පැමිණි ඕලන්දය වර්තමානයේ හැඳින්වෙන්නේ නෙදර්ලන්තය නමින්. මේ රට ඇල වේලි, ජල මාර්ග සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධයි. ලන්දේසීන් ලංකාව පාලනය කළ ක්‍රි.ව. 1658 සිට 1796 දක්වා වන සියවසකට වැඩි කාලය තුළ ඔවුන් ලංකාවේ ඇල මාර්ග රැසක් ඉදි කළ බව කියවෙනවා. මේ ඇතැම් ඇල මාර්ග කලින් සිට තිබුණු ඒවා වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් ලන්දේසීන් ඒවා සංවර්ධනය කළා. කළුගඟ බොල්ගොඩ ජලාශයට සම්බන්ධ කරන ‘කැපූ ඇලේ’ ඉතිහාසය සමගත් ලන්දේසීන්ගේ නම කියැවෙනවා.
කැපූ ඇල ආරම්භ වන්නේ කළුතර – හොරණ පාරේ ගල්පාත ආසන්නයේ ඇලමෝදර නම් ස්ථානයෙන්. එය අතීතයේදී ප්‍රවාහනයට යොදාගත් ජල මාර්ගයක්. රත්නපුරේ සිට කළු ගඟ දිගේ පැමිණ කැපූ ඇල දිගේ මොරටුව දක්වා ප්‍රවාහනයට ඒ දවස්වල පුළුවන්කම තිබුණා. එහෙත්, 20වන සියවසේ මුලභාගයේදී ලොරි භාවිතාව ව්‍යාප්ත වීම නිසා පාරු මගින් ඇල මාර්ග දිගේ කරන වෙහෙසකර ප්‍රවාහනය නතර වුණා.
ඒ වුණාට මේ ඇල දිගේ ගලා එන වතුර නිසා මොරොන්තුඩුව, පානදුර වැනි ප්‍රදේශ ගංවතුරෙන් යටවන්නට පටන් ගත් බව පැරැන්නන් කියනවා. එය වළක්වන්නට තමයි කළුතර, දියගම, දොඩම්මුල්ල ප්‍රදේශයේදී කැපූ ඇල හරස් කර බැම්මක් ඉදි කළේ. ඒ බැම්ම අසලින් කුඩා දිය මාර්ගයක් ඇති කර එහි අගුලු දොරක් තනා තිබෙනවා. එමගින් ඇල දිගේ ගලා යන ජල ධාරාව පාලනය කරන්නට පුළුවන්.
ගංවතුර වැළැක්වීමේ මෙම යෝජනා ක්‍රමය බොල්ගොඩ ව්‍යාපෘතිය ලෙස ද සැලකෙනවා. එහි ප්‍රධාන වේල්ල පිහිටා තිබෙන්නේ දොඩම්මුල්ලේ වුණාට එය පනාපිටිය වේල්ල නමිනුත් ප්‍රසිද්ධ වී තිබෙනවා. 2017 වසරේ කළු ගඟ පිටාර ගැලූ අවස්ථාවේ පනාපිටිය වේල්ල කැඩෙයි ද කියා බියකුත් ඇති වුණා. එහෙම විනාශයක් වුණොත් පානදුර පැත්ත ගංවතුරට හසුවෙයි කියාත් ඒ පැත්තේ අය බිය වුණා. ඒත්, බොහෝ දෙනෙකු මේ පනාපිටිය වේල්ල දැකලා නැහැ.
එය පිහිටා තිබෙන්නේ කළුතර – හොරණ පාරේ දියගම හන්දියේ සිට වම්පැත්තට දියගම මහා විද්‍යාලය පසු කර කිලෝමීටරයක් පමණ යන විට හමු වන දොඩම්මුල්ල ගමේ යි. අපි එතැන බලන්න ගිහින් ගත් වීඩියෝව තමයි මේ.