අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුනි 12 ලංකා පුවත්පතේ පළ වේ)
ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරලියේ රතන හිමියන් දළදා මාළිගාව අසල පැවැත්වූ උපවාසය දැඩි ලෙස විවේචනය කළේ ය.
එසේ විවේචනය කිරීමට දින දෙකකට පමණ පෙර එහිමි අතුරලියේ රතන හිමියන් උපවාස කරන ස්ථානය වෙත ගොස් පසු දින දවල් 12 වන විට ඉල්ලීම් ලබා නොදුනහොත් රට ගිනි තබන බව වෙනත් වචනවලින් කීවේ ය.
පසුදින පුවත්පත් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ සපුරා වෙනස් කතාවකි. එම කතාව සිංහල ජාතිකවාදී දිවයින පුවත්පත වාර්තා කළේ මෙසේ ය: “අද අරමුණක් නැතිව සිටි සිංහලයා අවදිවෙලා. මුස්ලිම් අන්තවාදයට එරෙහි සටනේ මූලිකත්වය මහා සංඝරත්නය අරගෙන තිබෙනවා. එහෙත් මේ සටන බංකොලොත් දේශපාලනඥයන්ගේ අතට ගැනීමට ඉඩදිය යුතු නැහැ. දේශපාලකයන්ට තමයි දැන් ගැටුමක් අවශ්‍ය වෙලා තියෙන්නේ. නමුත් අපි කටයුතු කළ යුත්තේ මේ මොහොතේ මූලිකත්වය දිය යුත්තේ වහාබ් අන්තවාදය පරාජය කිරීමටයි. රතන හිමියන්ගේ උපවාසයෙන් ඇත්ත ප්රශ්නය යට ගියා. අපි එතැනට ගියා තමයි. එතැනට නොගියා නම් සියලූම දෙනා අපිට මඩ ගහයි කොන්ත්‍රාත්කාරයෝ කියලා. ජාතිය නිර්වින්දනය වෙලා හිටියේ. අද අවදිවෙලා.”
මෙම විවේචනය පසුපස තිබෙන දේශපාලනය කුමක් ද? රතන හිමි පසුගිය වකවානුවේ සිටියේ දැඩි ලෙස හුදකලාව ය. ඔහු සමග දිගු කලක් එකට දේශපාලනය කළ ජාතික හෙළ උරුමයේ පැරණි සාමාජිකයකු වන අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මහතා රතන හිමිගේ දේශපාලනය පිළිබඳ ෆේස්බුක්හි සටහන් කළේ මෙසේ ය: “සංවිධාන විනයකින් තොරව හදිසි ආවේගයන් මත කටයුතු කිරීම, ප්‍රමාණවත් අධ්‍යයනයකින් තොරව ප්‍රතිපත්ති සහ සටන්පාඨ වැළඳ ගැනීම හා එබඳුම වේගයකින්ම ඒවා සමහර විට අත්හැරීම, තම සමීපතමයන් සහ සගයන් පිළිබඳව ප්‍රමාණවත් සංවේදීභාවයකින් කටයුතු නොකිරීම ආදී බොහෝ විවේචන උන්වහන්සේ සම්බන්ධයෙන් මට තිබේ. ඒ එකක්වත් මේ මොහොතේදී වත් වෙනස් වී නැත. ඇත්ත වශයෙන්ම පසුගිය කාලය වන විට උන්වහන්සේ ළඟ සිටි සියලුම දෙනා පාහේ උන්වහන්සේගෙන් ඈත් වී යන්නටත් එසේම උන්වහන්සේ තනි වී හුදකලා වෙන්නටත් බලපෑවේ මේ හේතූන්මය. ඇත්තටම උන්වහන්සේ ළඟ දැන් ඉතිරි වී ඇත්තේ ඉර පෙන්වා හඳ කිවහොත් එයත් පිළිගන්නා දුර්වල ගෝලයන් කිහිප දෙනෙකු පමණකි.”
ඒ සමග ම ඔහු රතන හිමිගේ හැකියාවන් පිළිබඳව මෙසේ ද සඳහන් කළේ ය: “රතන හිමියන්ට තරම් කෙටිකාලීන දේශපාලන මොහොත තේරුම් ගැනීමට පුළුවන් සහ ඒ උදෙසා ප්‍රතිචාර දක්වන්නට පුළුවන් කෙනෙකු අද වෙනතුරු මට හමුවී නැත. උන්වහන්සේ හදිසියේ තීරණය කොට මැදිහත් වූ සමහර අවස්ථාවන් විශාල දේශපාලන කම්පනයන් ඇති කොට තිබේ. උන්වහන්සේගේ වැඩ, බොහෝවිට දීර්ඝ කාලීන දේශපාලන සැලසුමක පියවරයන් නොව හිටිහැටියේ කරන වැඩය. බොහෝ වැඩවලින් බොහෝවිට යම් සංවිධානයක් විසින් දීර්ඝ කාලීන ඉලක්කයක් ඇතිව ප්‍රවේශමෙන් කරගෙන යන කටයුතු සම්පූර්ණයෙන්ම අවුල් වේ. එහෙත් තවත් සමහර විට ඒවා නොසිතූ ලෙස “පත්තු” වේ. කොටින්ම ඒ සමහර ඒවායින් මේ රටේ ඉතිහාසයත් වෙනස් වී තිබේ. නොසිතූ මොහොතවල්වල “තරඟ දිනවීමේ” එබඳු අපූරු හැකියාවක් උන්වහන්සේට තිබේ. තවමත් රතන හිමියන් දේශපාලනයෙහි පවතින්නේ මේ ගුණයත් එසේම උපතින්ම රැගෙන ආ යම් දුර්ලභ වාසනා ගුණයකුත් නිසා යැයි සිතමි.”
රතන හිමියන්ගේ ක්‍රියාකලාපය නිසා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ යම් වැඩපිළිවෙලක් අවුල්ව ගොස් ඇති බව ඥානසාර හිමි කරන විවේචනයෙන් පෙනේ. උපවාසයට යන විට සුළු අනුගාමිකයන් පිරිසක් සමග සූදානමකින් තොරව ගොස් දළදා මාළිගාව ඉදිරියේ බිම වාඩි වූ රතන හිමි එතැනින් නැගිට්ටේ ඥනසාර හිමි පසුපස යමින් සිටි භික්ෂු බලවේගය ඔහු වෙත ආකර්ෂණය කර ගනිමින් බව පෙනේ. විශේෂයෙන් ම දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැවැත්වුණ රතන හිමිට සහයෝගී උද්ඝෝෂණ මෙහෙයවූයේ බොදු බල සේනාව සමග සම්බන්ධව සිටි භික්ෂූන් ය. මතුගම ප්‍රදේශයේ පැවැති මෙවැනි උද්ඝෝෂණයකින් පසු එකී උද්ඝෝෂණයට සම්බන්ධ වූ භික්ෂූන් හා ගිහියන් සම්බන්ධයෙන් සමාජ මතය කෙබඳු එකක් වී ද යත්, මෙම ලිපිය ලියන මොහොත වන විටත් බෝතල්, කෑන් වැනි භාජනවලට ඉන්ධන නිකුත් කිරීමේ තහනමක් පොලිසිය විසින් ඉන්ධනහල්වලට පනවා තිබේ. ඔවුන් ප්රචණ්ඩ ක්‍රියා අවුළුවනු ඇති ය යන සැකය එයට හේතුවයි.
කෙසේ වෙතත්, මෙම උපවාසය සමග වැදගත් බලමුළුගැන්වීමක් සිදු විය. භික්ෂූන්ගේ නායකත්වයෙන් යුත් ජාතිවාදී දේශපාලන පෙරමුණක් ප්රචණ්ඩ ස්වරූපයෙන් රටේ ඇතැම් ප්‍රදේශවල නැගී සිටියේ ය. ඔවුන් විසින් ඇතැම් නගරවල කඩ සාප්පු වසා, බස් ධාවනය නවතා හර්තාලයක් ද කරන ලදී. මෙම භික්ෂු බලවේගය සමීපව නිරීක්ෂණය කරන විට දැකිය හැක්කේ දේශපාලන බලය වෙනුවෙන් වූ 2004 මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයේ උපායමාර්ගය වැනි බල ව්‍යාපෘතියක් ඒ පසුපස තිබිය හැකි බවයි.
ජාතික හෙළ උරුමයේ පූර්ව පක්ෂය වූ සිහල උරුමයට 2001 මහ මැතිවරණයේදී මුළු දිවයිනෙන් ම ලබාගත හැකි වූයේ ඡන්ද 50,000කට මඳක් වැඩි ගණනකි. ජාතික ලැයිස්තුවෙන්වත් ආසනයක් දිනාගත නොහැකි විය. මෙම ලේඛකයා අනුරාධපුර කඩ පනහේ පැවති සිහල උරුමයේ රැස්වීමක් රජරට සේවයේ සිට මඳ වේලාවක් නැරඹී ය. එම රැස්වීම විවෘතව නැරඹුවේ එකම එක ප්‍රේක්ෂකයෙකු පමණි.
එසේ තිබුණු සිහල උරුමය 2004 මහ මැතිවරණයේදී සිය පක්ෂය සංඝයාට පූජා කරන බව පවසමින්, භික්ෂූන් අපේක්ෂකත්වයට යොමු කරමින් තරග කර, ඉතා කෙටි කලකදී ඡන්ද 550,000කට වඩා ලබාගනිමින් ආසන නවයක් දිනාගැනීමට සමත් විය.
කෙසේ වෙතත්, මෙම බලවේගය ද පදනම් වන්නේ පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වයේ පදනම වූ ජාතිවාදී බලවේගය මත ම බව පෙනේ. ඒ සමග ම මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්ව පදනමෙහි බෙදීමක් ද දක්නට ලැබේ. මෙම බලවේගයේ නායකයන් දෙපොළක් වන ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා අතුරලියේ රතන හිමි යන දෙපළ ම මේ මොහොත වන විට යම් සමීප සම්බන්ධයක් තිබෙන්නේ රාජපක්ෂ බලවේගය සමග නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග වීම ද සුවිශේෂ තත්වයකි.
මෙම භික්ෂූන් දෙනම අතර නායකත්වය සම්බන්ධයෙන් බලාපොරොත්තු රහිත ගැටුමක් පැනනැගී ඇතත්, මෙම භික්ෂු දේශපාලනය බලවත් ලෙස කරලියට එන්නට උත්සාහ කරනු ඇත. ඔවුන්ට දැනටත් සුවිසල් කේවෙල් කිරීමේ හැකියාවක් තිබේ. සිවුරේ බලයට ආවරණය වෙමින් දැඩි සටන්කාමී ජවයකින් කඩාවැදීමට ඔවුන් සූදානම් බව පෙන්නුම් කර තිබේ. දැනට ඔවුන් වටා සිටින්නේ සුළු පිරිසක් වුව ද එය වේගයෙන් වර්ධනය විය හැකි බලවේගයකි. අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද්, නාමල් කුමාර වැන්නන් විසින් සංකේතවත් කරනු ලබන ලුම්පන් කොටස් දැනටමත් මේ වටා ඒකරාශී වී සිටිති. භික්ෂු නායකත්වයක් සහිත මෙම බලවේගය ඉදිරි මැතිවරණවලදී තීරණාත්මක බලයකි. මැතිවරණ දිනන්නට සිංහල ඡන්ද පදනම්වල පතුල් සූරන පිරිස්වලට ඔවුන් නොතකා හළ නොහැකි ය.
එහෙත්, ඔවුන්ගේ දේශපාලනයේ න්‍යායක් තිබේ නම් එහි පදනම මුස්ලිම් විරෝධය නිසා මධ්‍යස්ථ ජාතික නායකත්වයකට ඔවුන්ගේ සහයෝගය ලබාගන්නට නම් සුළු ජාතික විරෝධී ස්ථාවරයක් ගැනීමට සිදු වනු ඇත.
මෙම සුළු ජාතික, සුළු ආගමික විරෝධය මේ මොහොතේදී මුස්ලිම් විරෝධයක් වුව ද, එහි ආවේණික ලක්ෂණයක් වන ගතානුගතික නොවන ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම්වල එරෙහි විරෝධය ද අවසන් වී නැත. රෝමානු කතෝලිකයන්ගේ නායකත්වය හොබවන අතිගරු මැල්කම් කාදිනල් කුරේ වැනි නායකයන් රතන හිමියන්ගේ උපවාසයට සහයෝගය දීමේ දේශපාලනය ඒ ඇසුරෙන් තේරුම් ගත හැකි ය. මඩකලපුවේ සියොන් පල්ලිය ක්‍රිස්තියානි ඉවැන්ජලික දේවස්ථානයකි. එයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳවත්, විශේෂයෙන් ම ළමයින් විශාල සංඛ්‍යාවක් සමග එහිදී සිදු වූ ඝාතන ගැනත් රෝමානු කතෝලික නායකයන්ගේ අවධානය එතරම් යොමු නොවූ බව ඔබ දුටුවා ද?
ලංකාවේ ඉතිහාසයේ ඈත අතීතයේ සිට ම භික්ෂූන් සමාජ, දේශපාලනික වශයෙන් වැදගත් භූමිකාවක් ඉටු කර තිබේ. මහා විහාර, අභයගිරි ආරාම අතර පැවති මහායාන, හීනයාන ගැටුම තුළ දේශපාලනය කෙතරම් ගැඹුරින් ක්‍රියාත්මක වී ද යත්, ලංකාවේ මහායාන ඉතිහාසයේ මූලාශ්‍ර විනාශ කිරීම පවා සිදු වී තිබේ. එම ප්‍රබලත්වය හේතුවෙන් ම කන්ද උඩරට ඉංග්‍රීසීන්ට යටත් වන විටත්, එතැන් සිට 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දක්වාත් බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්වීම දක්නට ලැබේ. ලිබරල් පදනමින් එය අභියෝගයට ලක් කරන්නට ගත් උත්සාහයන් සාර්ථක වී නැතුවා පමණක් නොව, ආගම්වාදය ගැඹුරු කිරීමට ද එවැනි උත්සාහයන් ඉවහල් වී තිබේ. භික්ෂු දේශපාලනය කුමන තලයේදී වුව ප්‍රභූ දේශපාලනයකි. භික්ෂූත්වයේ ගරුත්වය ඔස්සේ එමගින් වරප්රසාදිත තත්වයක් ගොඩනගාගෙන තිබේ. රැඩිකල් භික්ෂු දේශපාලනය හැම කලක ම ගැටලුකාරී එකකි. මේ රටේ රාජ්‍ය නායකයකු ඝාතනය කළ කුමන්ත්‍රණය ඇතුළු කුමන්ත්‍රණ කිහිපයකට ම භික්ෂූන් නායකත්වය දී තිබේ. අද වන විට බෞද්ධ භික්ෂුව ඍජුව ම බල දේශපාලනයේ නිරත වන්නෙකි. ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවියට පවා මාදුළුවාවේ සෝභිත හිමි වැනි භික්ෂූන් ආසන්න වී සිටිය හ. එවැනි දේශපාලන භික්ෂු නායකත්වයක් වෙනුවට රැඩිකල් හා ප්‍රචණ්ඩත්වයට නැඹුරු භික්ෂු නායකත්වයක් වර්තමානය වන විට ඉදිරියට එමින් තිබේ. එය ඉතිහාසයේ අන් කවර කලකටත් වඩා අර්බුදකාරී තත්වයක් නිර්මාණය කරනු ඇත.