අජිත් පැරකුම් ජයසිංහ
දැන් ඔබ මෙතැනට ආවෙ පාස්කු ඉරිදා බෝම්බයෙන් සුණුවිසුණු වුණ මළමිනී, සුන්බුන්, ප්රචණ්ඩත්වයේ රූපමය නිරූපණ වැනි යමක් දකින්නට වෙන්න ඇති. මෙහි එවැනි දේ නැහැ. ඒත්, දැන් ඔබ මෙය වෙත පැමිණි නිසා මෙය නොකියවා ඉන්න එපා.
(ලිපිය දැන්වීමෙන් පසු)සංවේදී වාර්තා අදාළ වන්නේ සංවේදී සිදුවීම්වලට. හැම සිදුවීමක් ම කාට හරි සංවේදී වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස, අප ප්‍රවෘත්තියක් යනු කුමක් ද යන්න පෙන්වා දෙන්නට පාවිච්චි කරන ජනප්‍රිය උදාහරණයක් වන ‘මිනිසෙක් බල්ලකු සපාකයි’ වැනි ප්‍රවෘත්තියක් සත්ව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක්‍රියාමාලාවල යෙදී සිටින අයෙකුට අනෙක් අයට වඩා සංවේදී වෙන්න පුළුවන්.
සංවේදී සිදුවීම් වාර්තාකරණය කියන්නේ දැවැන්ත තරගකාරී වෙළඳපොළක්. කොහොමත් මාධ්‍ය කියන්නෙ දැඩි ලෙස තරගකාරී වෙළඳපොළක්. සංවේදී සිදුවීම් වාර්තාකරණය සම්බන්ධයෙන් අපි අද සාකච්ඡා කරන සියලු ගැටලු මතුවන්නේ මෙම වෙළඳපොළේ තිබෙන තරගකාරිත්වය නිසායි. එය එසේ මෙසේ තරගකාරිත්වයක් නෙමෙයි. මේ තරගකාරිත්වය හැමදාමත් තිබුණා. දැන් එයට අලුත් බලවේගත් එකතු වෙලා තියෙනවා. ඒ නිසා තත්වය ඉතා සංකීර්ණයි.
තව අවුරුදු පහක් යන විට මාධ්‍ය භූමිභාගය අදට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් එකක් වේවි. පුවත්පත, රේඩියෝව, රූපවාහිනිය වැනි සම්ප්‍රදායික, ප්‍රධාන ධාරාවේ යයි අප කියන මාධ්‍ය දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් තිබෙනවා. පුවත්පත දැනටත් ලාභදායී ව්‍යාපාරයක් නෙමෙයි. පුවත්පතක් ආරම්භ කරන්නට හා පවත්වාගෙන යන්නට අති විශාල ආයෝජනයක් අවශ්‍යයි. ඒ සඳහා කර්තෘ මණ්ඩල, මුද්‍රණ, බෙදාහැරීම්, අලෙවි, ප්‍රවර්ධන, වෙළඳ ප්‍රචාරණ අංශවලින් සමන්විත දැවැන්ත කාර්යමණ්ඩලයකුත් අවශ්‍යයි. අලෙවිය පිටපත් 1000ක් පමණ වන ජාතික පුවත්පත් ලංකාවේ තිබෙනවා. පුවත්පතක නිෂ්පාදන වියදම පුවත්පතේ මිළ මෙන් කීපගුණයක් වෙනවා. පුවත්පත් පවත්වාගෙන යන්නට වෙළඳ දැන්වීම් ලබාගැනීම අද වන විට විශාල අභියෝගයක්.
වෙළඳ දැන්වීම් කලාවේ සිදු වී තිබෙන විපර්යාසය ද ඉතා සංකීර්ණයි. සරලව කිව්වොත්, මීට අවුරුදු තිහකට පමණ පෙර කාලේ ඇලෙව්වොත් ඇලෙව්වාමයි කියා වචන දෙකක ප්‍රචාරණ පාඨයක් ලියා රු. ලක්ෂ දෙකක් ආරියසිරි විතානගේට උපයන්නට පුළුවන් වුණ දැන්වීම් යුගයයි වර්තමාන දැන්වීම් යුගයයි වෙනස්. වෙළඳ ප්‍රචාරණ ලෝකයත් වෙනස් වෙමින් තිබෙනවා.
වෙළඳ ප්‍රචාරණය සඳහා ලාභදායී සහ සම්ප්‍රදායික මාධ්‍යවලට වඩා ඵලදායී ක්‍රම අද වන විට සොයාගෙන තිබෙනවා. ඒ නිසා සම්ප්‍රදායික මාධ්‍යවලට දැන්වීම් ලබාදෙන්නන් ද දෙවරක් සිතා බලන්නට පෙළඹෙනවා.
සම්ප්‍රදායික මාධ්‍ය විතරක් නෙමෙයි, සම්ප්‍රදායික වෙළඳ ප්‍රචාරණ ආයතනවලටත් වෙනස් වෙන්නට හෝ විනාශ වන්නට බලකෙරෙමින් තිබෙනවා. වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්රයට වේගයෙන් කඩාවදින සමාජ මාධ්‍ය වෙළඳ දැන්වීම් හා නව නිර්මාණශීලිත්වය සමග තරග කිරීමට ප්රජාතන්ත්රවාදී ක්‍රම ඔවුන් සොයාගත යුතුයි. මා එහෙම කියන්නේ අත යට ගනුදෙනු රැසක් මේ ක්ෂේත්රයේ තිබෙන නිසායි.
ප්රජාතන්ත්රවාදය යන වචනය භාවිතා කෙරුණ නිසා එය මාධ්‍ය සමග තිබෙන සම්බන්ධයත් කතා කළ යුතුයි. මාධ්‍ය ක්ෂේත්රයේ හිමිකාරිත්වයේ සිට පත්තර ලෑල්ල දක්වා ම කොහෙද ප්රජාතන්ත්රවාදයක් තියෙන්නෙ? අපි අප කවුරුත් හොඳින් දන්නා තැනකින් බලමු. සංස්කාරක බලය කියන එක ඇතුළෙ ප්රජාතන්ත්රවාදී භාවිතාවන් තිබුණෙ කොයි තරම් අඩුවෙන් ද? සංස්කාරක හැමතිස්සෙම කටයුතු කළේ සුනිල් පෙරේරාගෙ ‘පහසුවටත්, වාසියටත් දැන දැන වැරදි කරනවා’ ගීතයෙ තියෙන ‘හිටපු එකම සීන් එකත් එඩිටර් මල්ලිගෙ කතුරට බෙල්ල කැපිල වගේ කැපිල වැඩක් නෑනෙ බං’ මූලධර්මයෙන්. සමාජ මාධ්‍ය ආගමනත් එක්ක මේ එඩිටර් මල්ලිලාට මොකද වුණේ? එඩිටර් මල්ලිලාට අලුත් තත්වයන් එක්ක අනුගත වෙන්නට බැරි වීමේ විපාක විදියට අද වන විට ප්‍රධාන ධාරාවේ සිටින විශිෂ්ට පුවත්පත් කතුවරුන්ට වඩා ජාතිවාදී පේජ් එකක, ගෘප් එකක ඇඩ්මින් කරන වාක්‍යයක් හරියට ලියාගන්නට බැරි ඇතැම් විට බාල වයස්කාරයන් ද වන නූගතුන් බලවත් වෙලා. ලෝකෙ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටියාට මාධ්‍ය අවකාශය අභ්‍යන්තරයෙන් ප්රජාතන්ත්රවාදයට විවෘත කරන්නට බැරි වුණා. පුවත්පත් කලාවේදීන්ගෙ වෘත්තීය අයිතිවාසිකම් පැත්තකින් තියමු. ඇතැම් මාධ්‍ය ආයතනවල වෘත්තීය සමිතියක්වත් ආරම්භ කරන්නට අවසර නැහැනේ. ඒ නිසා, පුවත්පත්වල සංස්කාරකවරුන්ට හැකි වුණේ නැහැ පාඨකයා සමග ප්රජාතන්ත්රවාදී සම්බන්ධයක් ගොඩනගාගන්නට. මේක පැහැදිලි කරන්නට හොඳ උදාහරණයක් තමයි, රේඩියෝවල අසන්නන්ගේ ඉල්ලීම්. අසන්නන්ට තිබුණෙ තැපැල්පත් එවන එක විතරයි. නිවේදකයන් ඔවුන් කැමති ගීත අසන්නන්ගේ ඉල්ලීම් ලෙස ප්‍රචාරය කළා. රේඩියෝ එකෙන් නම ප්‍රචාරය වෙනවට ආසාවෙන් අසන්නෝ තැපැල්පත් එව්වා. ග්රාහකයා ඒ විදියට තුට්ටු දෙකට දාපු යුගය අවසන්. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට මිස් වුණ බස් එක ඉන්ටනෙට් සහ සමාජ මාධ්‍ය තුළ දුර ගමනක් ගිහින් ඉවරයි. අද වන විට මාධ්‍ය අවකාශය ඉතා පුළුල් ප්රජාතන්ත්රවාදී වගේ ම වල්බූරු නිදහසකින් ද යුත්, පාලනය කිරීම ඉතා දුෂ්කර එකක් බවට පත් වෙලා.
Plagiarism හෙවත් රචනා චෞරත්වය කියන කාරණයත් මෙතැනදී ඉතා වැදගත්. අද වන විට, මාධ්‍යකරුවන් මහන්සි වී නිර්මාණය කරන අන්තර්ගතයන් ඉතා පහසුවෙන් සොරකම් කර විකුණාගැනීම සුලබ වෙලා. එහිදී නිර්මාණ හිමිකාරිත්වය පිළිබඳ අවම හෝ සැලකිල්ලක් නොදක්වන තත්වයක් තමයි තිබෙන්නේ. අනුන්ගේ අන්තර්ගතයන් තමන්ගේ වගේ කොපි පේස්ට් කිරීමත් සුලබයි. මෙහි භයානකකම තේරුම් ගන්නට පුළුවන් අද වන විට පොත්වලට වෙලා තියෙන දේ බැලුවාම. ලේඛකයෙකු අමාරුවෙන් පළ කරන පොත්වල පීඩීඑෆ් හොර කොපි පළ කර කිසිම සදාචාරයක් නැතුව බෙදාගන්නවා. ලේඛකයන් ම අනුන්ගේ පීඩීඑෆ් හොරෙන් බාගන්නවා. තමන්ගේ කෘතියට ලැබෙන ප්රතිලාභ අවම වෙනකොට හෝ එය පාඩු සිදු කරන දෙයක් වුණාම ලේඛකයන් ජීවත් වන්නේ කොහොම ද? දිරිගැන්වීමක් නැති වුණාම ලේඛකයන්ගේ නිර්මාණශීලිත්වයට මොකක් ද වෙන්නෙ? අපි ජීවත් වෙන්නෙ හරිම කණගාටුදායක යුගයක.
මේකට විසඳුමක් නැත්තෙ නැහැ. ඒ විසඳුම දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන දැන් තමන්ගේ අන්තර්ගතයන් ඉන්ටනෙට් හරහා ම අලෙවි කිරීමේ ක්‍රම ආරම්භ කර තිබෙනවා. අන්තර්ගතයක් පරිහරණය කරන්නට යම් මුදලක් ගෙවිය යුතුයි. ඉන්ටනෙට් කියන අවකාශයත් නොමිළේ බොහෝ දේ ලබා ගත හැකි අවකාශයක සිට වටිනාකම් එකතු කළ සේවාවන් වෙනුවෙන් ගෙවීම් කළ යුතු අවකාශයක් දක්වා වර්ධනය වෙමින් තිබෙනවා. මාධ්‍යවලත් මෙය සිදු විය යුතුයි. වගකීම් විරහිත සමාජ මාධ්‍යකරුවන්ට තමන් නිකම් ඉන්න කාලේ ලොකු සංදර්ශනයක් මවා පාලා වෙනත් වැඩක් කරන්නට සිදු වූ විට අතුරුදහන් වන්නට පුළුවන්. හැබැයි, වගකිවයුතු මාධ්‍යවලට, මාධ්‍යකරුවන්ට එහෙම කරන්නට බැහැ. රාජ්‍ය නොවන සංවිධානවලටත් මෙහිදී වගකීමක් තිබෙනවා. මාධ්‍ය ක්ෂේත්රයේ ආර්ථික තිරසරභාවය ගොඩනැගීම සම්බන්ධයෙන් ව්‍යාපෘති ආරම්භ කරන්න. එය මාධ්‍ය ගුණාත්මකභාවයට හා මාධ්‍යවේදීන්ගේ සුබසාධනයට ඉතා වැදගත්.
දැන් ඔබ සිතනවා ඇති මා මාතෘකාවෙන් පිට කතා කරනවා ය කියා. මා මේ කියූ දේවල් සංවේදී සිදුවීම් වාර්තාකරණයට අදාළ වෙන හැටි මා පෙන්වා දෙන්නම්. මාධ්‍ය ක්ෂේත්රයේ තිබෙන මා ඉහත විස්තර කළ දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ සංවේදී සිදුවීම් වාර්තාකරණය කියන්නේ මාධ්‍යවේදීන්ට පණ ගැටගසාගැනීමේ මාර්ගයක්. මාධ්‍ය හිමිකරුවාට ඉහළ වටිනාකම් රේට්ටුවක් ලබා නොදුන්නොත් තමන්ගේ රැකියාව හෝ උසස්වීම හෝ වෘත්තීය වෘත්තීය මාර්ගය හෝ අහිමි වෙයි කියන පීඩනයෙන් සිටින වෘත්තීය මාධ්‍යකරුවන්ට සංවේදී පුවත් වාර්තාකරණයේදී අසංවේදීව කටයුතු කරන්නට බලකෙරෙන වාතාවරණයක් මාධ්‍ය වෙළඳපොළේ තිබෙනවා. ඔවුන් එය නොකළොත්, එසේ කර ඔවුන්ගේ වෙළඳපොළ කුට්ටිය ඩැහැගන්නට බලාගෙන සිටින කෑදර තරගකරුවන් පිරිසක් ඉන්නවා. ප්රශ්නය තියෙන්නෙ එතැන. ලංකාවේ මාධ්‍ය වෙළඳපොළේ තියෙන කුඩාකම හා එහි තරගකරුවන් රැසක් අතර තිබෙන තරගකාරිත්වය හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ මාධ්‍යකරුවන් වගේ හෝ හැසිරෙන්නට අපේ මාධ්‍යකරුවන්ට බැහැ. මේකට වෘත්තීය මාධ්‍යකරුවන්ට බැනලා වැඩක් නැහැ. විසඳුම් හොයන්නට ඕනැ. අපි අවුරුදු 10ක් විතර එය අත්හදා බලමින් ඉන්නවා. ලංකාවේ මාධ්‍ය අවකාශයට කොයි තරම් පූර්ණකාලීන වෘත්තීය මාධ්‍යකරුවන් අවශ්‍ය ද, ඔවුන්ට මොන වගේ කුසලතා තිබිය යුතු ද කියන කරුණ පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි. මේ කතාව ටිකක් අමානුෂික වෙන්න පුළුවන්. ලංකාවේ ‘මාධ්‍යවේදීන්’ කියන බොහෝ අය වෙන රස්සා සොයාගත යුතුයි. වෙනත් කර්මාන්තයක නියැලෙන ගමන් මාධ්‍යකරණයේ යෙදෙන වෘත්තීය පුරවැසි මාධ්‍යකරුවන් තමයි අප නිර්මාණය කරගත යුතුව තිබෙන්නේ.
අප කොයි තරම් ආචාරධර්ම පද්ධති සංවර්ධනය කළත්, වාරණය දක්වා නියාමනයන් පාවිච්චි කරන්නට උත්සාහ කළත්, ඒ සියල්ල මගහැර යන්නට ක්‍රම සහ විධි දැන් තිබෙනවා. උදාහරණයක් විදියට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ම දැන් ඕපාදූප වෙබ් අඩවි පවත්වාගෙන යන ආකාරය දකින්නට පුළුවන්. ඔවුන් ඒවා නොකළත්, සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී වගකීම් විරහිත, වෘත්තික නොවන කොටස් එය කරනවා. සමාජ මාධ්‍යකරුවන්ගේ බලපෑම් කිරීමේ හැකියාව සුළුකොට නොතැකිය යුතුයි. සමාජ මාධ්‍යකරුවන්ගේ වෘත්තීය කුසලතා නංවන්නට යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි. සමාජ මාධ්‍යකරුවන් කියන්නෙ ග්රාහකයන් ම තමයි. ඔවුන් ඉදිරි පෙළ ග්රාහකයන්. ඔවුන්ගේ කුසලතා, ආකල්ප සංවර්ධනය කරනවා ය කියන්නෙ ම මාධ්‍ය අවකාශයේ දැවැන්ත වෙනසක්.
(ලිපිය දැන්වීමෙන් පසු)ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ප්‍රසිද්ධ විද්වත් සාකච්ඡාවක් “සංවේදී සිදුවීම් වාර්තා කිරීමේ දී ජනමාධ්‍ය සතු වගකීම හා අභියෝග” යන මැයෙන් මැයි 03 වන සිකුරාදා ප.ව. 3.00 ට නාරාහේන්පිට කිරුල පාරේ අංක 96 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා පුවත් පත් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
මෙම විද්වත් සාකච්ඡාවට රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපද්ශක එම්.ජේ.ආර්.ඩේවිඞ් මහතා, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරි ( සිංහල මාධ්‍ය) කමල් ලියනාරච්චි මහතා, සිලෝන් ඩේලි එක්ස්ප්‍රස් හා වික්එන්ඩ් ඩේලි එක්ස්ප්‍රස් හි ප්‍රධාන කර්තෘ හනා ඉබ්රාහිම් මෙනවිය සහ මෙම වෙබ් අඩවියේ සංස්කාරක හා සමාජ ක්‍රියාකාරිකයෙක් වන අජිත් පැරකුම් ජයසිංහ මහතා ද සහභාගි වුණා.
මෙය එහිදී අජිත් පැරකුම් විසින් කරන ලද ඉදිරිපත් කිරීමයි.