අජිත් පැරකුම් ජයසිංහ
මං ඔය ශාස්ත්‍රාලීය චිත්‍ර කලාවට මාර බයයි. හේතුව, ඕවයෙ වෙන දේවල් අපට තේරෙන්නෙ නැහැ. උදාහරණයක් විදියට මුත්‍රා පෝච්චියක්, එම්බාම් කරපු මෝරෙකු වගේ දේවල් කලාකෘති වෙන හැටි මට තේරෙන්නෙ නැහැ.
ඕවට දෙන්න පුළුවන් නියම උත්තරේ දීලා තියෙනවා ජෝර්ජියාවෙ ස්ථාපන කලාකාරයෙකු ම. ඔහුගෙ නම ඩේවිඩ් ඩැටූනා. කෙසෙල් ගෙඩියක් ටේප් එකකින් බිත්තියේ අලවලා තිබුණු චිත්‍ර ප්‍රදර්ශනයක් අතරතුර, නරඹන්නන් බලාසිටිද්දි මේ කලාකරුවා ඒ කෙසෙල්ගෙඩිය ගලවා ලෙලි ඇර කනවා.
විකට නළුවා ලෙස නම් කර තිබුණ මෙම කෙසෙල් ගෙඩිය ඉතාලි චිත්‍ර ශිල්පී මොරීෂියෝ කැට්ලෑන්ගෙ නිර්මාණයක්. මියාමි බීච් ආට් බැසල්හි ප්‍රදර්ශනය කරන ලද එහි මිළ ඩොලර් 120,000ක්. මීට කලින් කැරට් 18 රන් වැසිකිළිය කියන කලා කෘතිය නිර්මාණය කළෙත් ඔහුයි. එය ඩොලර් මිලියන හයක් මිළ වුණා.
ඩොලර් 120,000 කෙසෙල් ගෙඩිය කාපු කලාකාරයා අපූරු කතාවක් කීවා. “එය කලා කෘතියක් විනාශ කිරීමක් නෙමෙයි. එය මගේ රඟදැක්වීමක්. මා ඒ ගැන කණගාටු වන්නේ නැහැ.”
කලාව කියන්නෙ භාණ්ඩයක් නොවෙයි, සංකල්පයක් ය කියන සංකල්පය තවදුරටත් ඉදිරියට ගෙන යාමක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.
මේ සංකල්පය විප්ලවීය විදියට කලාගාරයට ගෙනාවේ 1917දී මාසල් ඩුචෑම්ප් නම් චිත්‍ර ශිල්පියෙක්. ඔහු අනෙක් පැත්ත හරවන ලද මුත්‍රා පෝච්චියක් ආර්. මට් ලෙස අත්සන් කර, 1917 අවුරුද්ද අත්සනට යටින් දමා, Fountain ලෙස නම් කර ප්‍රදර්ශනයකට ඉදිරිපත් කළා. එය කලාව තුළ දැවැන්ත සංවාදයකට හේතු වුණා. ඩූචෑම්ප් යනු අවුරුදු ගණනාවක සිට මෙවැනි භාවිත උපකරණ ඒවායේ වෙනස්කිරීම් හා සංදර්භීය වෙනස්කම් සහිතව කලාකෘති ලෙස ඉදිරිපත් කිරීම කළ කලාකරුවෙක්.
මෙම සිද්ධිය චිත්‍රය හා කලාව පිළිබඳ විප්ලවීය සංවර්ධනයක් ලෙස සැලකෙනවා.
මට මේ මළඉලව් තේරෙන්නෙ නැහැ ඕයි! අර යකා කෙසෙල් ගෙඩිය කෑවා වගේ මට මේවා තේරෙන්නෙ නැහැ ය කියන එකත් ආට් නෙමෙයි ද?
කෙසෙල් ගෙඩියෙ කලාකෘතියට වෙච්ච වැඩේ පහළ වීඩියෝවේ තිබෙනවා.