සුනිල සම්භාෂණ මැද ස්ටෑන්ඩ් අප් කොමඩි

Aragalaya art

අජිත් පැරකුම් ජයසිංහ

ඊයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතාගේ පොත් දොරට වැඩුමට මාත් වැඩියා. එතනදී ආපු අදහසක් මේ.

වැඩසටහන පුරාම එක්තරා හොඳ මට්ටමේ නිර්මාණාත්මක විහිළුවක් සැරිසැරුවා. ඒක පටන් ගත්තෙ නිර්මාල්. කථිකයකු නොපැමිණෙන නිසා ඒ වෙලාවත් තමන්ට ගන්නට පුළුවන් බවත්, එය කතා කිරීමට දෙන වේලාව ඉක්මවා කතා කරන පුරුද්දක් ඇති සුනිල් විජේසිරිවර්ධන මහතාට උපහාරයක් විය හැකි බවත් ඔහු කීවා. එය නිර්මාණාත්මක හාස්‍යමය යෙදුමක්. සභාව සිනාසුණා.

ඉන් පස්සෙ මුළු වැඩසටහන පුරාම ඒක ස්ටෑන්ඩ් අප් කොමඩි එකක් වගේ ඉදිරියට ගියා. පාර බ්ලොක් කරපු කාර් අයින් කරන්නය කියලා නිවේදන ගෙන ආපු නිවේදිකාව, නිර්මාල්ගෙන් පසු සියලු කථිකයන්, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පවා එහෙම ඒ විහිළුව ඉදිරියට ගෙන ගියා. සභාව සිනාසුණා.

ගැඹුරු දාර්ශනික සාකච්ඡා අතරට පොඩි විහිළුවක් දාන එකත් නරක නැහැ. ඒ දාර්ශනික සාකච්ඡා කොයි තරම් ගැඹුරුද කියන එක ගැන නම් මට එච්චර ගැඹුරු අදහසක් නැහැ.

කොහොම වුණත්, මට මෙහෙම එකක් හිතුණා. ඒ සභාව ඇතුළු සියලු ලාංකීය සභා මොන සභාවට ගියත් සොයන්නේ සිනාවට නිමිති. කථිකයකුගෙන් බලාපොරොත්තු වෙන්නෙ ස්ටෑන්ඩ් අප් කොමඩි. බොහෝ කථිකයනුත් නොදැනුවත්වම ස්ටෑන්ඩ් අප් කොමීඩියන්ලා වෙලා. මේක හරි අපූරු තත්වයක්.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ ගැඹුරු මැදිහත්වීම් කළ කෙනෙක්. ඒ බොහෝ මැදිහත්වීම් ජනතාව අතරට නොගියෙ සංස්කෘතික රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවාදය නිසා. හොඳම උදාහරණය එතුමාගේ රත්නවල්ලි නාට්‍යයට වෙච්ච දේ.

සංස්කෘතික රාජ්‍ය නොවන සංවිධාන ලංකාවේ කලා උන්නතියට සේවයකට වඩා අගතියක් සිදු කරන බව තමයි මගේ පෞද්ගලික මතය. ඔය දාර්ශනික යයි කියන බොහෝ දේවලුත් පෞද්ගලික මත. එවැනි තවත් ප්‍රසිද්ධ පෞද්ගලික මතවලින් අයිසිං දාගත්තාම තමයි ඒවා දර්ශනයන්, මතවාදයන්, දෘෂ්ටිවාදයන් බවට පත් වන්නෙ.

මටත් එතුමා සමග සංස්කෘතික රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයක් අතීතයේ යම් කලක තිබුණු නිසායි මාත් ඒ වැඩසටහනට ගියේ. එතුමාගේ සංස්කෘතික-දේශපාලනික කතිකාව ගැන නම් මගේ කවදාවත් ලොකු උනන්දුවක් තිබුණෙ නැහැ. මං හිතන්නෙ එතනට රැස් වුණ වැඩි දෙනෙකු එවැනි කතිකාවකින් පෝෂණය වූ අය බව ඔවුන්ගේ චර්යාවන්වලින් නම් පෙනෙන්නෙ නැහැ. ඔහුගේ අනුගාමිකයන් බව කියන වැඩි දෙනෙකුත් අප වගේම හිනාවට නිමිති හොයන ස්ටෑන්ඩ් අප් කොමඩිලෝලියන් තමයි.

සමාජ කතිකාවට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ මැදිහත්වීම වටිනා එකක්. ඒ වුණාට, ඒක අගයනවා නම් කළ යුතුව තිබෙන්නේ උපහාර පිදීම නෙමෙයි. ඒ කතිකාවට විචාරශීලීව මැදිහත් වෙන එක. මේ පොඩියට කරල තියෙන්නෙ එහෙම එකක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *