අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 24 දින ලංකා පුවත්පතට ලියූ ලිපිය
19වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය යළි සමාලෝචනය කර ඉදිරි කටයුතු කරගෙන යන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව මාධ්‍යවලට පැවසී ය.
19වන සංශෝධනයෙන් ව්‍යාකූල තත්වයක් ඇති කර තිබෙන බව ද ඔහු පැවසී ය. පසුගිය වසර පහක පමණ කාලය තුළ රට තුළ පැවති අස්ථාවර තත්වයට හේතුව 19වන සංශෝධනය යයි කෙනෙකුට බැලූ බැල්මට පෙනුණ ද, ජනාධිපති හා අගමැති පක්ෂ දෙකකින් පත් වූ මීට පෙර අවස්ථාවලදී ද මෙවැනි ම අස්ථාවර තත්වයක් ඇති විය. 2001 වසරේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ජයගෙන ආණ්ඩුවක් පිහිටුවන විට ජනාධිපති ධුරය දැරුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ය. ඇය විසින් 2003 නොවැම්බර් මාසයේදී ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යාංශ තුනක් පවරාගනිමින් නිර්මාණය කරන ලද තත්වය අවසන් වූයේ 2004දී හදිසි මහ මැතිවරණයක් පවත්වා එකී ආණ්ඩුව පරාජය කිරීමෙනි. එවකට ජනාධිපතිගේ බලතල පාර්ලිමේන්තුව අභිබවා ගිය අතර පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා ජනාධිපති අද මෙන් වසර හතරහමාරක් බලා සිටිය යුතු වූයේ නැත.
මේ පිළිබඳව ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න විසින් මෙසේ පැහැදිලි කර තිබේ. “19වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙරාතුව, තමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පරම බලයකට ආසන්න බලයක් ජනාධිපතිවරයාට තිබිණි. මේ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාවේ 70වන වගන්තිය තුළ මේ බලය සීමා වී තිබුණේ එක කොන්දේසියකින් පමණි. එනම්, කලින් පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණේ වසර හයක් වන එහි පූර්ණ කාලය අවසන් වීමට පෙර නම්, අලුත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසිරවිය හැක්කේ අවුරුද්දකින් පසුව පමණක් බව ය.” (උපුටාගැනීම: කලම්බු ටෙලිග්‍රාෆ්)
19වන සංශෝධනය විසින් මහින්ද රාජපක්ෂ සහ ඔහු රටේ ජනාධිපති බවට පත් කිරීමට අදහස් කරන්නේ යයි කියන ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ යන දෙදෙනාට ඍජුව බලපාන ගැටලුවක් ඇති කරන ලද බව ඇත්තකි. පුද්ගලයන් ඉලක්ක කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම යහපත් තත්වයක් නොවන මුත්, ශ්‍රී ලංකාවේ එවැනි ආණ්ඩුක්‍රම සංශෝධන සිදු වූ පළමු අවස්ථාව මෙය නොවේ. 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහින්ද රාජපක්ෂ තමන් වෙනුවෙන් තුන්වන වරටත් ජනාධිපති පදවියට පත් විය හැකි තත්වයක් නිර්මාණය කරගත්තේ ය. ඔහු 2015 ජනාධිපතිවරණයට තරග කළේ ඒ අනුව ය. එහෙත්, ඔහු පරාජය විය. 19වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය අනුව දෙවරක් පත් වූ ජනාධිපතිවරයකුට නැවත ජනාධිපතිවරණයට තරග කළ නොහැකි ය. එසේම, ජනාධිපති ධුර කාලය ද වසර හයක සිට පහ දක්වා අඩු කරන ලදී.
එසේම, ජනාධිපති ධුරය සඳහා තරග කිරීමේ අවම වයස අවුරුදු 35 දක්වා වැඩි කිරීම හේතුවෙන් නාමල් රාජපක්ෂට 2019 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ අවස්ථාව අහිමි විය.
ඊට අමතරව, 19වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල සීමා කරන ලදී. එමගින් අගමැතිවරයා වඩා බලවත් වූ අතර, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා පාර්ලිමේන්තුව අවම වශයෙන් වසර 4 1/2ක් කල් පැවතිය යුතු ය. ජනාධිපතිවරයාට හිතුමතේ අගමැති පත් කළ නොහැකි අතර, අග්‍රාමාත්‍ය ධුරයට පත් විය හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසයක් ඇති මන්ත්‍රීවරයාට ය.
මේ කිසිවක් අවුල් සහගත නැත. රූකඩ, බලය නැති අගමැතිවරුන් පත් වන ඉතිහාසය 19වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස් විය.
එහෙත්, මේ කිසිවක් වර්තමානයේදී මහින්ද රාජපක්ෂට අභියෝග වන්නේ නැත. එහෙත්, අභියෝගාත්මක දේ 19වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබේ. ස්වාධීන කොමිෂන් සභා ඒ අතරින් ප්‍රධාන ය.
19වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය විසින් සිදුකරන ලද වෙනස්කම් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මාලදිවයින් පාර්ලිමේන්තුව අමතා කරන ලද කතාවේදී පැහැදිලි කළේ මෙසේ ය:
“19වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට පූර්ණත්වයට ආසන්න නීති මුක්තියක් තිබුණා. එය ද 19වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සීමා කළා. ඒ අනුව, මූලික හිමිකම් අධිකරණය බලය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ජනාධිපතිවරයාගේ නිල කටයුතු පරීක්ෂා කළ හැකියි. 2018දී පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ද මෙම විධිවිධානය යටතේයි.
“19වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වුණේ පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන ලද බරපතල ව්‍යවස්ථා උල්ලංඝනයන් නිසායි. නිදසුනක් ලෙස, 2013දී එවකට අග්‍ර විනිශ්චයකාර වූ ශිරානි බණ්ඩාරනායක ඉවත් කරනු ලැබුවේ විධිමත් දෝෂාභියෝග ක්‍රියාවලියකින් තොරවයි. ඒ හා සමානව, රාජ්‍ය සේවය සහ පොලිසිය දේශපාලනීකරණය ද ඉහළ ගියා. 19වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කළා. එම ස්වාධීන කොමිෂන් සභා වන්නේ,
- ස්වාධීන අධිකරණ සේවා කොමිෂම
- ස්වාධීන පොලිස් කොමිෂම
- ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂම
- මැතිවරණ කොමිෂම
- මුල්‍ය කොමිෂම
- ජාතික විගණන කොමිෂම
“මෙම ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත්කිරීම සිදුවන්නේ ව්‍යවස්ථාදායක සභාව විසින්. අග්‍ර විනිශ්චයකාර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ද පත්කිරීම් අනුමත කරන්නේ ව්‍යවස්ථාදායක සභාව විසිනුයි. වර්තමානයේදී, ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන නම් විකල්ප නිර්දේශ සමග ඔහු වෙත ආපසු යැවීමේ හැකියාව ව්‍යවස්ථාදායක සභාවට තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව සමන්විත වන්න් කතානායක, අගමැති, විපක්ෂ නායක, ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු සහ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනෙකුගෙනුයි.
“ආංශික අධීක්ෂණ කාරක සභා හඳුන්වා දීම මගින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කටයුතු ශක්තිමත් කරනු ලැබුවා. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආංශික අධීක්ෂණ කාරක සභා 16ක් පිහිටුවනු ලැබුවා. එමගින් පාර්ලිමේන්තුවේ සම්මත වන නීති යෙදවෙන ආකාරය විශ්ලේෂණය, තක්සේරුව සහ ඇගයීම, පරිපාලනය, ක්‍රියාත්මක කිරීම සහ ඵලදායිතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට උපකාර කරනවා. සියලු පනත්, යෝජනා සම්මතයන්, ගිවිසුම් සහ වාර්තා පාර්ලිමේන්තුව විසින් සලකාබැලීමට පෙර අදාළ අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරනු ලැබේ.” (උපුටාගැනීම: ප්‍රජා වෙබ් අඩවිය)
ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අභ්‍යන්තර මූලධර්ම අතරින් එකක් වන ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ද 19වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මූලික හිමිකමක් බවට පත් කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමු වරට හඳුන්වා දෙනු ලැබුවේ 2001 වසරේදී සියලු පක්ෂවල එකඟතාවෙන් සම්මත කරගන්නා ලද 17වන සංශෝධනයෙනි. එහි අරමුණ ම වූයේ රජ්‍ය සේවයේ, අධිකරණ සේවයේ සහ පොලිස් සේවයේ ඉහළ නිලවලට පත්කිරීම් කිරීමේදී ජනාධිපතිවරුන් විසින් සිදු කරන ලද අත්තනෝමතික ක්‍රියා වැළැක්වීමයි. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමන්විත වූයේ අගමැතිවරයා, කතානායකවරයා (සභාපති) විපක්ෂ නායකවරයා, ඔවුන් විසින් නම් කරන ලදුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සිවිල් සමාජ නියෝජිතයන් පස්දෙනෙක් හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂ විසින් නම් කරනු ලබන නියෝජිතයෙකු වශයෙන් සාමාජිකයන් 10දෙනෙකුගෙනි. එහි සාමාජිකයන් හත්දෙනෙකු ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සිවිල් සමාජ නායකයෝ වූ හ.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කණ කොකා හැඬුවේ 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩු වී තිබුණු සභික ධුර වෙනුවෙන් පත්කිරීම් සිදු නොකළ ජනාධිපතිවරයා එය අක්‍රිය තත්වයට පත් කළේ ය. ඉන් අනතුරුව 2010දී 18වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර දමා ඒ වෙනුවට පාර්ලිමේන්තුව සභාව නමින් හැඳින්වුණු නව ආයතනයක් පිහිටුවන ලදී. එය සමන්විත වූයේ අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා සහ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නම් කරනු ලබන මන්ත්‍රීන් දෙදෙනෙකු වශයෙන් පස්දෙනෙකුගෙනි. ස්වාධීන සිවිල් සමාජ නියෝජනය සම්පූර්ණයෙන් ම ඉවත් කරන ලදී. ගෙදර යන ගමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පත්වීමක් ද රැගෙන යා හැකි තත්වයක් නැවත ස්ථාපිත වූයේ ඒ සමග ය.
බොහෝ විට ලංකාව ආපසු එතැනට රැගෙන යාමට වත්මන් පාලකයන්ට වුවමනාව තිබිය හැකි ය.