අජිත් පී. ජයසිංහ විසිනි
රජයේ සේවයේ වැටුප් විෂමතා ප්‍රශ්නයට මට විසඳුමක් තියෙන බව දැන් හැම තැනම ප්‍රසිද්ධ වෙලා. කොටින්ම, සොරි, කොටින්ම නෙමෙයි සිංහයෙන් ම, ගෝඨාභයතුමාටත් ආරංචි වෙලා. පහුගිය දවස්වල මට කෝල් කළානෙ. අන්නෝන් නම්බර් එකකින් ආවෙ කෝල් එක.
“හලෝ!”
“අජිත්, මං …………. මචං, අපේ ගෝඨාභය සර්ට උඹට කතා කරන්න ඕනැලු.”
“අම්මට හුඩු! ඒ මොකද?” මගෙ කකුල් මැංඩලින් ගැහුවා. ඇස් නිලංකාර වෙලා සුදු වෑන් පාවුණා. පහුගිය දවස්වල ලිව්වෙ මොනවද කියල කල්පනාවට ආවෙත් නැහැ. හීන් දාඩියත් දැම්මා. චූ බරත් වුණා.
“නෑ බං, අවුලක් නෙමෙයි, අර උඹ වැටුප් විෂමතා ගැන ලිව්වෙ. ඒක ගැන කතාකරන්න. මං සර්ට ෆෝන් එක දෙනවා.”
බුදු අම්මෝ, මං මොනවද වැටුප් විෂමතා ගැන ලිව්වෙ. මතක් වෙන්නෙ නෑ දෙයියො.
“අජිත්….”
“ඔව් සර්, කතා කරනවා.”
“මට මේ …….. කිව්වා ඔයා ගාව හරි ඉනොවටිව් සොලියුෂන් එකක් තියෙනවා කියලා මේ වැටුප් විෂමතා ප්‍රශ්නෙට.”
“ඔව් සර්, ඕකට කරන්නට ඕනැ මේකයි. ඔය රජයේ සේවයේ වෘත්තීය සමිති නායකයන් ටික ඔක්කොම එකතු කරලා, කන්න බොන්න, විශේෂයෙන් බොන්න දීලා, හොඳ හෝටල්වල නවාතැන් අරවා මේවා දීලා, උන් උන් අතරෙ සාකච්ඡා කරලා වැටුප් විෂමතා නැති වෙන විදියට අලුත් වැටුප් ව්‍යූහයක් හදාදෙන්න කියලා උන්ටම කියන්න ඕනැ.”
“ඕකුන්ට තේරෙනවද එච්චර දෙයක් කරන්න?”
“ඒකනෙ සර් මං කියන්නෙ. ඕකුන්ට සම්ම ජාතියෙ ඕක හදන්න බැහැ. රණ්ඩු වෙලා, කා කොටාගෙන, ජම්මාන්තර විදියට තරහ වෙනවා.”
“එතකොට මොකද කරන්නෙ?”
“එතකොට ඉතින් සාකච්ඡා දිගට ඇදෙනවා. සමහරු නැගිටලා යනවා. අනෙක් එවුන් දෙන නිර්දේශ පිළිගන්න බැහැ කියලා කට්ටියක් කියනවා. ඒකෙන් මේකෙන් අවුරුදු පහක් ඇදගන්න පුළුවන්. එතකොට ඔය ඇටුවං බැහැපු අංකූරො සෙට් එක පැන්ෂන් යනවා.” සර්ලාත් ගෙදර යනවා කියලත් තව පොඩ්ඩෙන් කියවෙනවා. අනූනමෙන් නවත්තගත්තෙ.
“ඒක හොඳයි, අපි කරමු. ඔයා ඒකට අපිත් එක්ක එකතු වෙන්න ඕනැ.”
හෙණ ගහපන්, ගනං බලාපන් කිව්වලු. මේ මොකක්ද යකෝ මට වෙන්න යන්නෙ? මගෙ උගුරත් එක්ක හිර වුණා. කැස්ස එනකොට යන්තං මයික් එකේ රීසීවරේ අතින් වහගත්තා.
“දැනට ඔහොම යන්න. ඔයා දිගට ම සජිත් එක්ක ඉන්නවා වගේ පෙන්නන්න. යූඇන්පිය ෆුල් ම අවුල් කරල දාන්න. ජනාධිපතිවරණෙන් පස්සෙ අපේ පැත්තට එන්න. මං කතා කරලා බංඩාරගම ම ඉල්ලලා දෙන්නම්.”
“ඒ වුණාට සර්, මං සජිත්ට සපෝට් නැහැනෙ.”
“බොක්කෙ තියෙන ඒව මේ වෙලාවෙ එළියට පෙන්නන්න ඕනැ නැහැ. ඔයා දැන් අර පෙන්නන විදිය හොඳයි. සජිත් ජනාධිපති – අජිත් අගමැති.”
“ඒ සර් මං නෙමෙයිනෙ.”
“එතකොට ඔයා අජිත් පී. පෙරේර නෙමෙයි ද?”
“නෑ සර්, මං අජිත් පී. ජයසිංහනෙ.”
එහා පැත්තෙන් ඇමරිකන් ඉංගිරිස් වගයක් ඇහෙන්න පටන් ගන්නකොටම මට ඇහැරුණා අයියො තුන්මුනින් දාඩිය දාගෙන. ඇඳේ චූත් පොඩ්ඩක් ගිහින් තිබුණා. මං පොඩි එකීව උස්සලා අරන් එතනින් තියල තමයි ෂේප් වුණේ.