තෙල් නැවේ ගින්න නිවා ඇත. ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හා තවත් අංශවල සහාය නොලැබුණි නම් තත්වය බරපතල වනු නියත ය.
එහෙත්, ලංකාවේ බලධාරීන් දේශීය ජනමාධ්‍යවලින් කයිවාරු ගහන්නේ තනි අතින් ගින්න නිව්වේ තමන් වගේ ය. මිනිසකු සර්ප දෂ්ටයකින් මළ පසු ගැරඬියකු ‘කොහොමද නයින්ගෙ අපේ වැඩ?’ යි ඇසූ හැටි සිහිපත් වුණේ එහෙයිනි.
ගුවන් යානා රැගෙන යන නෞකා දෙකක් හිමි ලොව බලවත් ම නාවික හමුදාවක් හිමි ඉන්දියාවටත් වඩා ශ්‍රී ලංකාව උසස් යයි කියන්නට උත්සාහ කිරීම තේරුමක් නැත. අපට ඒ හා සමාන වන්නට උවමනාවක් ද නැත.
දෙරණ ප්‍රේක්ෂකයන්ට පුරසාරම් දෙඩුවාට කමක් නැත. ලංකාවේ රජය අපගේ නාවික බලය කෙතරම් ද යන්න ගැන යථාර්ථවාදී විග්‍රහයක් කරගැනීමට මෙම අවස්ථාව යොදාගත යුතු ය.
දූපතක් වන, විශාල සාමුද්‍රික කලාපයක් හිමි ශ්‍රී ලංකාව ශක්තිමත් නාවික හමුදාවක්, වෙරළාරක්ෂක බලකායක් පමණක් නොව සාගරය සම්බන්ධ තවත් බොහෝ ධාරිතාවන් ගොඩනගා ගැනීමට අවධානය යොමු කළ යුතු ය.
ගිනි නිවීම, සමුද්‍ර දූෂණය වැළැක්වීම, මත්ද්‍රව්‍ය හා හොරබඩු ජාවාරම් වැළැක්වීම, ශ්‍රී ලංකාවේ සාගර සම්පත් රැකගැනීම හා ඒවායින් ප්‍රයෝජන ගැනීම, පර්යේෂණ, පුරා විද්‍යාත්මක, සංචාරක, විනෝදාස්වාද වැනි කටයුතු සඳහා අවශ්‍ය පහසුකම්වලින් ශ්‍රී ලංකාවේ නාවික අංශ සන්නද්ධ කළ යුතු ය.
නාවික, ධීවර ආදී ක්ෂේත්‍රවල රැකියා කරන්නන්ගේ වෘත්තිකභාවය නැංවීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන අංශ සංවර්ධනය කළ යුතු ය.
දැන් තිබෙන්නේ මරාගෙන මැරෙන ගරිල්ලා නාවික හමුදාවක් සමග යුද්ධයක් නොවේ. එවැනි යුද්ධයක් වෙනුවෙන් ගොඩනගන ලද ශ්‍රී ලංකාවේ නාවික බලය නූතන තත්වයන් අනුව හැඩගැසිය යුතු ය.
මේ වනාහි පුරවැසියන් ලෙස අපට පෙනෙන දෙයයි. රජයට අවශ්‍ය උපදෙස් දිය හැකි විශේෂඥයන් නාවික හමුදාව වැනි ආයතනවල සිටිනවා ඇත.