අජිත් පැරකුම් ජයසිංහ
කංචන විජේසේකර ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදෙන්න යනවා. ඕවා මීට අවුරුදු දෙකකටත් එහාපැත්තෙ ක්‍රියාත්මකව තිබුණු ඒවා. දැන් ඉන්ධනවලට විතරක් නෙමෙයි, ගෑස්, විදුලිය, ජලය ආදියටත් මිල සූත්‍ර අවශ්‍යයි.
මේ අංශවල තියෙන ඔලිගොපොලි හෙවත් රජයේ හා තවත් සමාගම් කීපයක ආධිපත්‍යය බිඳ දමලා මේ වෙළඳපොළවල් නියාමනයක් සහිතව විවෘත කරන්නට ඕනැ. ආනයන මිල + මෙහෙයුම්/ බෙදාහැරීම් වියදම් + ලාභය + රාජ්‍ය බදු ඇතුළත් කර විධිමත් සූත්‍රයක් හදන්නට ඕනැ. ආනයනික තොග මනාව අධීක්ෂණය කරලා අයුතු ලාභ ලැබීම වළක්වන්නට ඕනැ. ඒ සඳහා ඔය තියෙන තෙල් සංස්ථාවෙන්, විදුලිබල මණ්ඩලයෙන්, ජල සම්පාදන මණ්ඩලයෙන් එහෙම අතිරික්ත සේවකයන් අරගෙන කාර්යක්ෂම නියාමන ව්‍යූහයක් හදන්නට ඕනැ.
වෙළඳපොළ නිදහස් කිරීම නිකම් වල් බූරු නිදහස් කිරීමක් නොවිය යුතුයි. දැනට නම්, බොහෝ භාණ්ඩවලින් ආනයනකරුවන් හා වෙළෙන්දන් අයුතු ලාභ ලබනවා සීමාවකින් තොරව.
නියාමනය කියන්නෙ මිල පාලනය නෙමෙයි. මිල පාලනය කියන ගොන්වැඩේ හමුදාව දාලාත් කරන්නට බැරිවෙලා ආණ්ඩුව නිකම්ම කිච වුණානෙ. මිල පාලනය කරන්නට යන්න එපා. වෙළඳපොළ නියාමනය කරන්න. තොග අධීක්ෂණය කරන්න. අයුතු ලාභ වළක්වන්න. මේ සඳහා නීති ශක්තිමත් මදි නම් අලුත් නීති පණවන්න.
ආණ්ඩුව විදියට රජය ශක්තිමත් කරන්නටත්, කාර්යක්ෂම කරන්නටත් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙලාවක මේක. රාජ්‍ය නිලධාරීන් පාරිභෝගික ජනතාව ආරක්ෂා කරන්නට වැඩකිරීම අත්‍යවශ්‍යයි.
බුද්ධිමත් පාරිභෝගිකයන් විදියට අපට අවශ්‍ය නැහැ ආණ්ඩුව මැදින් පැනලා ආනයන මිලට අඩුවෙන් අපට නිෂ්පාදන ලබාදීලා ආපහු අපෙන් අයකරන බදුවලින් හෝ අනාගත පරම්පරා උගසට තියලා ගන්නා ණයවලින් හෝ ඒ හිඟය පියවන්න. ඒ වගේම, ආණ්ඩුව තෙල්, ගෑස්, විදුලිය, ජලය වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවලින් ගන්නා බදුත් සාධාරණ විය යුතුයි.
මේ එන තත්වයට ගැලපෙන්නට අපි අපේ ජීවිත හැඩගසාගත යුතු වෙනවා. ඉන්ධන මිල වැඩිවෙන තරමට පොදු ප්‍රවාහනය විධිමත් කිරීමේ අවශ්‍යතාවත් වැඩිවෙනවා. වහාම ලංගම බස් ධාවනයෙන් ඉවත්වෙන්න. තියෙන ලංගම බස් හා ඩිපෝ සේවකයන්ගේ සමුපකාර සමිති බවට පත්කරන්න. රජයේ ආධාර නැතුව බස් ධාවන ව්‍යාපාර කරගෙන යන්නට ඔවුන්ට උදව් කරන්න. මාර්ග සඳහා ඒකාබද්ධ බස් සමාගම් ක්‍රමයක් සකස් කරන්න. සියලු ලංගම බස් නැවතුම්පොළවල් පොදු බස් නැවතුම්පොළවල් බවට පත්කර ඒකාබද්ධ බස් ධාවනයක් ආරම්භ කරන්න. දැනට තියෙන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි සියල්ල ලංගම යටතට පත්කර බස් ධාවනය නියාමනය කරන්න. ලංගම දේපල ලාභ ලැබිය හැකි ආකාරයට යොදාගන්න.
දුම්රිය සඳහා වහාම ඉන්දියාව, ජපානය වැනි රටවල සමාගම් සමග රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයකට යන්න. දුම්රිය සේවය ඵලදායී සේවාවක් බවට පත්කරන්නට අවශ්‍ය කටයුතු කරන්න. ඉන්ධන ආදී ප්‍රවාහන කටයුතු සඳහා දුම්රිය භාවිතය වැඩිකරන්න.
ආණ්ඩුවට සූත්තර පාරන්නට මතක් වී තිබෙන්නේ පාත්තරේ ඉරක් ද ගිය පසුවය. දැන් ඉතින් වෙන කරන්නට දේ ද නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමට පෙර මේ ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවනු ඇත.
ඒ සමගම මේ මිල ඉහළයාම්වලින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින දිළිඳුම සමාජ කොටස්වලට සහන සැලසීමේ ආරක්ෂක ජාලයක අවශ්‍යතාව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙන කාරණාව ද නැවත මතක් කළ යුතුය. දේශපාලක අනුග්‍රහයෙන් සකස් කරන ලද සමෘද්ධි ලැයිස්තුව හා සමෘද්ධි මුදල් බෙදාදීම නම් ඒ එකවුන්ට් එකෙන් මේ එකවුන්ට් එකට මුදල් මාරු කරන සරල වැඩේ වෙනුවෙන් සමෘද්ධි අරමුදලේ වියදමෙන් හතරෙන් පංගුවක් කන සමෘද්ධි අධිකාරිය නම් ඒ ආරක්ෂක ජාලය ලෙස සැලකිය නොහැකි බව ද කිව යුතුය.
මේ සම්බන්ධයෙන් මහාචාර්ය රොහාන් සමරජීව කදිම යෝජනාවක් කරයි. එනම්, දැනට රටේ ජනගහනයෙන් 100%කට ආසන්න ප්‍රමාණයකට විදුලිය සම්පාදනය කර තිබෙන නිසා දිළිඳු කොටස් හඳුනාගෙන මෙම පද්ධතිය ඔස්සේ සහන සැපයීම සිදුකළ හැකිය.
මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙනවාද නැද්ද යන්න වෙනම ගනුදෙනුවකි. ආණ්ඩුව කරනවා නම් කළ යුතුය.