කොවිඩ්-19 ඇති කරන නව කොරෝනා වයිරසය මිනිස් සිරුර තුළ නැවත පණගැනීමේ හැකියාවක් නොමැති බව දකුණු කොරියාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානයේ පර්යේෂකයෝ පවසති.
දකුණු කොරියාවේ 10,000කට වඩා කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අතර මරණ 245ක් සිදු විය. එහි මරණ අනුපාතිකය 2.3%ක් වන අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තක්සේරු කර තිබෙන ගෝලීය මරණ අනුපාතිකය වන 3.4%ට වඩා අඩු ය.
දකුණු කොරියාවේ කොවිඩ්-19 රෝගීන් 277කට දෙවන වරට රෝගය වැළඳුණු බව කලින් විශ්වාස කරනු ලැබී ය. චීනයේ සහ ජපානයේ ද රෝගීන්ට එසේ සිදු වූ බව වාර්තා විය.
වයිරසය මිනිස් සිරුර තුළ ඉක්මණින් විකෘති වීම හේතුවෙන් රෝගය වැළඳුණු අයට එය නැවත වැළඳිය නොහැකි අන්දමින් සිරුර තුළ කොවිඩ්-19ට එරෙහි ප්‍රතිදේහ ගොඩනැගීම සිදු නොවිය හැකි බව ඒ අනුව අනුමාන කරන ලදී.
රෝගයට ගොදුරු වූ අය “ප්‍රතිශක්ති පාස්පෝට් හෙවත් immunity passports” හිමියන් ලෙස සලකා කටයුතු කිරීම නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ ඒ අනුවයි.
එහෙත්, එසේ දෙවන වර හමු වූ වයිරස සම්බන්ධයෙන් සිදු කරන ලද ජාන විශ්ලේෂණ අනුව වයිරසවලට ප්‍රතිශක්තිකරන පද්ධතියෙන් සැඟවී සිටිය හැකි ආකාරයේ ජාන විකෘති වීමක් සිදු වී නොමැති බව හෙළි විය.
කෙසේ වෙතත්, දකුණු කොරියාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය විසින් නිගමනය කර තිබෙන්නේ එසේ දෙවන වර කොවිඩ්-19 ආසාදනය වීමක් වාර්තා වී තිබෙන්නේ ඔවුන් විසින් භාවිතා කරන ලද PCR පරීක්ෂණ ක්‍රමවේදයේ දෝෂයක් නිසා බවයි. එමගින් සුවපත් වූ රෝගීන් තුළ තිබෙන මිය ගිය, හානිකර වයිරස් කොටස් ද සජීවී වයිරස් ලෙස වැරදියට හඳුනාගෙන ඇති බව එම ආයතනය පවසයි.
එච්අයිවී, පැපොල වයිරස මානව සෛල න්‍යෂ්ටිය තුළට ඇතුළු වී නිෂ්ක්‍රීයව තිබී වසර ගණනාවකට පසු නැවත සක්‍රිය විය හැකි ය. එහෙත්, කොවිඩ්-19 වයිරසය එසේ මිනිස් සෛලවල න්‍යෂ්ටියට පිටතින් රැඳී සිටින බව දකුණු කොරියාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. එහි අරුත වන්නේ කොවිඩ්-19 එච්අයිවී මෙන් සුව නොවන රෝගයක් හෝ නැවත නැවත ඇති වන රෝගයක් නොවන බවයි.
එහෙත්, අනාගතයේදී මෙම වයිරසය විකෘති වී කලින් එය පරාජය කළ අයට ද නැවත වැළඳීමේ හැකියාවක් තිබේ. අනෙකුත් ඉන්ෆ්ලුවන්සාවලදී ද සිදුවන්නේ එයයි.