ඊශා කප්පරගේ
කොවිඩ්-19ට ලොක්ඩවුන්වත්, හර්ඩ් ඉමියුනිටිවත් විසඳුමක් වෙලා නැති බව පැහැදිලියි. ලංකාවෙ ලොක්ඩවුන් එකෙන් යම් දුරකට රෝගය පාලනය වුණා. අවසන් වෙන්නෙ නැහැ. වයිරසයකට බයේ ඇඳිරි නීතිය දාලා සදාකාලිකව රට වහගෙන ඉන්න බැහැ. ආර්ථිකය මියැදෙන්න කලින් නැගිට්ටවාගන්න නම් අපි ආපහු වැඩකරන්න ඕනැ. රටේ ආර්ථිකය සක්‍රිය වෙන්නට ඕනැ.
ඊළඟ අදියර කියල කියන්නෙ සීමිත ලොක්ඩවුන්, ස්වයං නිරෝධායනය, වැඩිපුර පරීක්ෂා කිරීම සමග ගමන් බිමන් පාලනය කරගෙන සිටීමයි. ඒ එක්කම, මේකත් කියන්නට සිදුවෙනවා. ප්‍රතිශක්තිකරණ එන්නතක් ගැන බලාපොරොත්තු තබාගෙන අපට නව කොරෝනා වයිරසය සමග තව බොහෝ මාස හෝ අවුරුදු ගණනක් ජීවත් වෙන්නට සිදුවෙනවා. ඒ අතරෙ අපගේ ප්‍රියයන් අපෙන් වෙන් වී යන එකත් බලන්නට සිදුවෙනවා. සමහරවිට මැරෙන්නෙ අප වෙන්න පුළුවන්. සමහර විට, අප රෝගී වේවි. ස්වයං නිරෝධායනය වෙන්නත් වේවි.
රෝගය සමග ජීවත් වීම කියන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් ජීවිතයකට හුරු වීමක් බව මතක තබාගන්න. ඒක ලෙහෙසි නැහැ. මං මේක කියන්නෙ අත්දැකීමෙන්. මා සෞඛ්‍ය සේවිකාවක්. ඒ නිසා මා මේ ඇඳිරි නීති, ලොක්ඩවුන් මැද දිගට ම වැඩ කළා. මා වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සපයන්නට මගේ සැමියාත් නිතර මා සමග ගමන් ගියා.
වැඩ කරන අතරතුර, අතරමගදී එහෙම අපට කොයි තරම් මිනිසුන් හමුවෙනවා ද? අපේ ගෙදරට ගෙනෙන ඕනෑම භාණ්ඩයක මතුපිට පවා කොරෝනා වයිරසය තැවරිලා තිබෙන්නට පුළුවන්. මීටරයක් දුරින් සිටියත් මේකෙන් ගැලවෙන්නට පුළුවන් ද? උදාහරණයක් ලෙස මෙහෙම හිතන්න, අපි යතුරුපැදියක ගමන් කරනවා. අපට ඉදිරියෙන් ගිය වාහනයක සිටි අයෙකු ධාවනය වන අතරතුර වාතයට කෙළ පාරක් ගැසුවා නම්, පසුපසින් එන අපට එමගින් වාතයට මුසු වෙන වයිරසවලින් ආරක්ෂාව සලස්වාගන්නට පුළුවන් කොපමණ දුරකින් සිටියොත් ද?
වයිරසය සමග ජීවත් වීම කියන්නෙ අපේ ජීවිතේ සම්පූර්ණයෙන් ම කණපිට හරවා ගැනීමක්. ඒක ලේසි නැහැ. හුස්ම ගැනීමේ සිට සිප වැළඳ ගැනීම දක්වා ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාකාරකම් හැම එකක්ම වෙනස් කරගන්නට අපට සිදු වේවි. ඒ අතරෙ වැරදි විදියට මුඛ ආවරණ පැළඳීම වැනි අධි ක්‍රියාකාරකම් හේතුවෙන් වැඩි අවදානමකට ලක් වීමත් වළක්වා ගන්නට ඕනැ. කොරෝනා තිබුණත්, අපේ ජීවිත රසය නැති කරගන්නටත් අපට බැහැ. කොරෝනා තිබුණත් අප ආදරය කරන්නත් ඕනැ.
අප කැමති අය බලන්නට යන එක වුණත්, දැන් හරි කල්පනාවෙන් කළ යුතු දෙයක්. තව ටිකක් කල්වත් එහෙම නොගිහින් ඉන්න. සමාජය අලුත් තත්වයට හැඩගැසෙනකල් ඉවසන්න.
මේ අලුත් ජීවිතයට හුරු වන හැටි කොයි තරම් අමාරු ද කියන එක තේරුම් ගන්නට වැඩට යන මා මගේ පවුල වයිරසයෙන් ආරක්ෂා කරගන්නට අනුගමනය උපායමාර්ගවලින් තේරේවි. මේවාත් පරිසමාප්ත නැහැ. මේවා අපි මේ මොහොතේ වයිරසය සමග කරන සටනෙ එක කොටසක් පමණයි. මාත්, මගේ පවුලේ අයත් දැන් සිට ම මේ සටන පුහුණු වෙමිනුයි ඉන්නෙ. ගෙදර සිටින ඔබටත් ලොක්ඩවුන් ඇරියාට පසුව මේ සටනට මුහුණ දෙන්නට වෙනවා. විශේෂයෙන් ම ළමයින්ව මෙයට පුහුණු කිරීම ලෙහෙසි නැහැ. දැන් සිටම පටන් ගන්න.
ඇඳුම්, පැළඳුම්
1. සැහැල්ලු ඇඳුම් තෝරා ගන්න. (එවිට හැමදාම සෝදන්න පහසුයි.)
2. දිනපතා ඇඳුම් සෝදන්න. රෙදි රාක්කවල එකතු කරන්න එපා. වයිරසය ඇඳුම්වල තිබිය හැකියි.
3. නිවසට ඇතුල් වූ පසු පළමුව සබන් දමා අත් සෝදන්න. අනතුරුව ජල කරාමයද සබන් යොදා සෝදන්න.අනතුරුව රෙදි සෝදා ස්නානය කරන්න. හිස කෙස්වල සිට පා ඇඟිලි දක්වා ශරීරයේ හැම කොටසකටම අවධානය යොමු කරන්න.
4. ආභරණ හැකි තරම් අඩුවෙන් පළඳින්න. ඔර්ලෝසුව පවා අවදානම් සහගතයි. ලෝහ මතුපිට වයිරසය වැඩි වේලාවක් පැවතිය හැකි ය.
5. කොණ්ඩ කටු, වූල් බෑන්ඩ් ආදිය පවා සෝදන්න.
අත් බෑග්
1. ගමන් බෑග අඩු සංඛ්‍යාවක් පාවිච්චි කරන්න. (ඇඳුමට ගැලපෙනවාද කියන එක ගැන දැන් එතරම් හිතන්න බැහැ)
2. හැකිනම් නිවසින් පිටත තැනක එය තබන්න. ඇතුළට ගෙන යා යුතු නම් අත සෝදා ගත් පසු කළින් සූදානම්කර තැබූ මල්ලකට බහා ගෙතුළට රැගෙන යන්න. අනතුරුව නැවත දෑත් සෝදන්න.
සෙරෙප්පු/ සපත්තු
1. සෙරෙප්පු/ සපත්තු ජෝඩු අඩු ගණනක් භාවිතා කරන්න.
2. භාවිතා කළ ඒවා නිවසේ අනෙක් අය නොපාගන තැනක තැන්පත් කර ඊළඟ දිනයේත් භාවිතා කරන්න. දිවා කාලයේ නම් හොඳින් හිරු එළිය වැටෙන තැනක තබන්න.
ජංගම දුරකථන
1. රෝහලේදී විනිවිද පෙනෙන පොලිතීන් උරයක දමා භාවිතා කරන්න.
2. නිවසට විත් එම උරය සෝදා නැවත පිටතට යනවිට භාවිතයට ගන්න. නිවසේදී පමණක් cover භාවිතා කරන්න.
උපැස් යුවල
1. නිවසේදී භාවිතයට පෙර සබන් හා ජලයෙන් සෝදන්න. බහාලනය ඇල්කොහොල් ද්‍රාවණයකින් පිස දමන්න.
ගෙදරට ගෙනෙන භාණ්ඩ
1. ජලය ඇතුළට ගමන් නොකරන අසුරන ඇල්කොහොල් මිශ්‍ර ද්‍රාවණයකින් පිසදමන්න. එළවළු, පලතුරු, මස්, මාළු ආදියෙන් පවා වයිරසය පැමිණිය හැකි බව සිතන්න. පූර්ණ විසඳුමක් කියන්නට අමාරුයි.