ගුවන් යානයට මා ගොඩ වූයේ බොහෝ පිරිසකට පිටුපසිනි. තම රට බලා පිටත්වන ගුවන් යානයට මගීන් ගෙන යන බසයට ගොඩවීම සදහා ඔවුන් සමහරක් පෙලගැසුනේ ගුවන් යානය ඔවුන් ඩුබායි පොලවෙහි අතහැර යාවිදැයි යන බියෙන් මෙනි.
මා මට හිමි අසුනෙහි වාඩි වූ පසු මගේ අසල්වැසියා මාගෙන් ඇසූ පලමු ප්රශ්නය මා ඩුබායි ජීවත් වන්නෙක්ද නැතිනම් රියාද් සිට ඩුබායි පැමිණියේද යන්නයි. මා ලංකාවේ ජීවත්වන බව කියූ පසු ඔහුගේ බලාපොරොත්තු සුන් වී ගියා සේ මට හැඟී ගියේය. මා ඔහු සමග කතා කළද මා ඔවුන්ගේ එකෙකු නොවන බව මට දැනුනි. අසල්වැසියා ඩුබායි නගරයෙහි බොහෝ කාලයක් ජීවත්වෙන කෙනෙකු බව ඔහු මාහට කීවේය.
මුලු ගුවන් යානයම කතා කලේ සිංහලෙනි. ඔවුන් එකිනෙකා හඳුනන්නේ නැත. එය කතාව ආරම්භයේම තේරුම් ගත හැකිය. එහෙත් ඔවුහු එකිනෙකාගේ කතා ඉතා උනන්දුවෙන් අසා සිටිති. එකිනෙකාගේ හාම් පුතුනට එක්ව සාප කරති; දෙස් දෙවොල් තබති.
මගේ අසල්වැසියා මා අසල අසුනෙහි උන් කාන්තාවන් දෙදෙනෙකු සමග කතා කරන්නට විය. ඔවුන් රියාද් සිට පැමිණ ඇත. අසල්වැසියා ද කාලයක් රියාද්හි සේවය කොට ඇත. ඔහු රියාද්හිදී කාන්තාවනට විඳින්නට සිදු වන කරදර දුක් ගැහැට ගැන දිගු විස්තරයක් ඔවුනට කළේය. ඔවුන් ඔහුට කීවේ ඔවුන් කේටරින් ආයතනයක වසර හතරක් සේවය කොට ඇති නමුත් ඔවුනට එවැනි කරදර වී නොමැති බවයි.
මගේ අසල්වැසියා අප ළඟින් වැසිකිළි යාම සදහා ගිය කාන්තාවක් නවතා සිදුවූයේ කුමක්දැයි ඇසීය. ඇය දුක්මුසු මුහුණෙන් ඔහු දෙස බලා සිටියා විනා කිසිවක් කීවේ නැත. මට අනෙක් පසින් සිටි කාන්තාවන් දෙදෙනාගෙන් කෙනෙක් ඇයට එතැනින් යන්නට ඉඟියක් කළාය. ඇය එතැනින් ගිය පසු මගේ අසල්වැසියන් දෙදෙනා ඈට අත් වූ ඉරණම සාකච්ඡාවට ගත්හ.
ඇය රියාද් සිට හාම්පුතා විසින් ගුවන්තොටුපොළට ගෙනත් හැරලවා ඇත. ඇය මාස හයක් සේවය කොට ඇතත් වැටුප් ගෙවා නැත්තේලු. ඇය කුඩා බෑගයක් පමණක් රැගෙන පැමිණියේලු. මාගේ රියාද් අසල්වැසියන් සහ තවත් ලාංකිකයන් කිහිප දෙනෙකු ඇයට මුදල් ටිකක් දුන්නේලු. ඇය මැද පෙරදිග එන්නට සෑහෙන වියදමකුත් කර ඇත්තේලු. මේ අසල්වැසියන්ගේ සාකච්ඡාවෙන් එකතු කරගත් තොරතුරු වේ.
මාගේ අසල්වැසියා ඇයට කරදරයක් වූ බව දැනගත්තේ කෙසේද යන කාරණය මට මහත් කුතුහලය ගෙන දෙන්නක් විය. මම හෙමිහිට ඔහුගෙන් එය ඇසුවෙමි. ඔහු කීවේ ඇය පැමිණ ඇත්තේ ඇගේ ගෘහ සේවිකා ඇඳුමෙන්ම බවයි. එය සාත්තු සේවිකා ඇඳුමකට සමාන ඇඳුමක් බව මම දුටුවෙමි.
මා වටා සිටි සියලු දෙනාගේම කතා බහ මට ඇසිණි. ඔවුන් සියලු දෙනාගේම බලාපොරොත්තු, සිතුවිලි බොහෝ සෙයින් සමානය. සියලු දෙනාම වාගේ නැවත මැදපෙරදිග යන්නට කැමැත්තක් නැත, එහෙත් ඔවුනට මෙරටෙහි නැවතිය නොහැකිය. ඔවුන්ගේ ජීවිත, දරුවන්, සියල්ල තීරණය කරන සාධකය බවට මැදපෙරදිග පත්ව ඇත. මාගේ අසල්වැසි කන්තාවන් දෙදෙනාම කීවේ ඔවුන්ගේ දරුවන් කුඩා කාලයේදී ඔවුන් රට රැකියාවට ගිය බවයි. සිව් වසරකට පසු නැවත ඔවුන් වෙත යද්දී ඔවුනට අම්මාගේ රූපයද අමතක වී තිබෙන්නට හැකි බව ඔවුහු කීහ. එහෙත් කෙසේ හෝ තව එක් වතාවක්වත් මැදපෙරදිග රැකියා කොන්ත්රාත්තුවක් ලබා ගතයුතු බව දෙදෙනාගේම අදහස විය. ඒ ඔවුන් එරී ඇති වැටී ඇති නාරාවලෙන් ගොඩවීමටය.
පැය හතරක කාලයකට පසු ගුවන් යානය කටුනායකට සේන්දු විය. ඔවුන් සියල්ල හැකි ඉක්මනින් ගුවන් යානයෙන් පිට වීමට පෝලිමට එකතුවිය. මාගේ අසල්වැසියා මා සමග ගුවන් යානයෙන් පිටතට පැමිණ තීරුබදු රහිත සාප්පුවෙන් මා සමගම රස කැවිලි මිළ දී ගත්තේය. ඒ අවස්ථාවේදී රියාද් හාම්පුතා විසින් රැකියාවෙන් නෙරපූ කාන්තාව කුඩා බෑගයත් සමග අප ඉදිරියෙන් කිසිදු හැඟීමකින් තොරව ඇවිද ගියාය. මගේ අසල්වැසියා ඇය නවත්වා ඔහු මිලදී ගත් රස කැවිලිවලින් ස්වල්පයක් සහ මුදල් ටිකක් ඈ අත තබමින් ඔහු වසර ගණනක් මෙවැනි ඛෙදවාචකයන් දැක ඇති බව කියමින් ඇයට සමු දුන්නේය.
මෙම සටහන හා සම්බන්ධ කර ගනිමින් මෙම ලිපිය ද කියවන්න. උපුටා ගත්තේ iVoice.lk වෙබ් අඩවියෙනි.