ලංකාවේ නිතර බුදු බණ ඇසේ. බුදු බණ කීවාට මේ බොහෝ බණ බුදු බණවල විවිධ සඟ අර්ථකථන වේ. බණ කියන තරමට බණ අසන මිනිසුන් නැත. බණ ඇසුවත්, බොහෝ අය එය අසන්නේ බණෙහි ප්‍රාතිහාර්ය බලයක් මගින් සෙත් වනු ඇතැයි සිතමින් මිස සිහි බුද්ධියෙන් විමසා භාවිතා කිරීමට නොවේ.
සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පහත දැක්වෙන ගාථා පාඨයේ අරුත වටහා ගත් සිංහල බෞද්ධයන් මේ අවස්ථාවේදී එයින් ඵල ප්‍රයෝජන ලබමින් සිටිනවා ඇත. ඇතැමෙකුට මෙය මිස් වුණ කෝච්චියක් වන්නට පුළුවන. එහෙත්, පශ්චාත් කොවිිඩ්-19 අවධියක් තිබේ නම් එම අවධියේදී මෙය භාවිතයට ගත හැකි ය.
“ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථංව නිධාපෙයිය
ආපදා සුභවිස්සති”
උපයන ධනය කොටස් හතරකට බෙදා එක කොටසක් කෑම් බීම් ආදියටද, කොටස් දෙකක් තමාගේ දියුණුව පිණිස වන කර්මාන්තයකට ද, සතරවන කොටස විපතකදී, ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීමට ඉතිරි කර තැබීමට ද මේ අනුව බුදු බණේ ඉගැන්වේ.
කොටස් දෙකක් තමාගේ දියුණුව පිණිස වන කර්මාන්තයට වෙන් කිරීම අවධානයට ලක් විය යුතු කරුණකි. සාමාන්‍යයෙන් ලෝකෝත්තර දහමක් ලෙස සැලකෙන බුදු දහම තුළ ප්‍රාග්ධනය, ආයෝජන, ව්‍යාපාර, කර්මාන්ත, වෙළඳාම, ලාභය වැනි නූතන වානිජ සංකල්ප මගින් විග්‍රහ කළ හැකි කාරණා සම්බන්ධයෙන් තිබුණු විවෘතභාවය එයින් පෙනේ.
අතීත සිංහල බෞද්ධයා අල්පේච්ඡ ජීවිතයක් තුළ පවා මේ අන්දමින් කටයුතු කරන්නට ඇතැයි අනුමාන කළ හැකි ඓතිහාසික සාධක තිබේ. එහෙත්, වර්තමානය වන විට උපයන ධනයෙන් හැකි තරම් පාරිභෝජනය කිරීම, පාරිභෝජනය උත්කර්ෂවත් කිරීම හෙවත් පාරිභෝජනවාදය, භාණ්ඩ මිළ දී ගැනීම හා භාණ්ඩ මත ම සිතීම හා පැවැත්ම පදනම් කරගැනීම හෙවත් භාණ්ඩ වන්දනාව සිංහල බෞද්ධයන් අතර ප්‍රමුඛ ලක්ෂණ වී තිබේ.
මේවාට යම් දුරකට වාමාංශික අදහස්වල බලපෑම ද එකතු වී තිබෙන අතර ව්‍යාපාර විරෝධයක්, ලාභ විරෝධයක් හා වෙළඳපොළ විරෝධයක් ද පරස්පර විරෝධී ලෙස එහි තැවරී තිබේ.
මේ අතර, මෙලොව දියුණුවට හේතු වන ඉහත කී තත්වයන් විනාශ වන ක්‍රම ව්‍යග්ඝ පජ්ජ සූත්‍රයෙහි අපාය මුඛ වශයෙන් හඳුන්වා ඇත. එවැනි අපාය මුඛ හතරක් ඇත. ස්ත්‍රී ධූර්තයෙක් වීම, සුරා ධූර්තයෙක් වීම, අක්‍ෂ ධූර්ථ හෙවත් සූදුවෙහි ඇලෙන්නෙක් වීම සහ පවිටු මිතුරන් ඇසුරු කිරීම යනු ඒ අපාය මුඛ සතරයි. බොහෝ නූතන සිංහල බෞද්ධ පිරිමින්ගේ ජීවිත මේ අපාය මුඛ හතරට විවෘත ය. ඉහත දක්වන ලද පාරිභෝජනවාදය හා භාණ්ඩ වන්දනාවත්, මෙකී අපාය මුඛත් අතර දැඩි සම්බන්ධයක් තිබේ.