“මගෙ වයස අවුරුදු 18යි. මට තාම දෙමළ යාළුවෙක් නෑ. ඇයි ඔබ තුමන්ලා අපිව මෙහෙම වෙන් කළේ? ” යන මේ ප්‍රශ්නය රූපවාහිනී වැඩසටහනකදී පාසල් ශිෂ්‍යාවක් දේශපාලනඥයන්ගෙන් අසා තිබේ. මෙය මේ දිනවල ජනප්‍රිය ප්‍රශ්නයකි.
වසර 12කට පෙර මා අගලවත්ත කොට්ඨාසයේ ප්‍රධාන පාසලක සේවය කරද්දී මා ඉංග්‍රීසි ඉගැන්වූ 10, 11, උසස් පෙළ ආදී පන්ති සියල්ලේ ළමයින්ගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමි. ලංකාවේ මුස්ලිම් ජනයා කතා කරන භාෂාව කුමක්ද යන්න එම ප්‍රශ්නයයි. පිළිතුර ලෙස අරාබි භාෂාව පමණක් නොව ඇදහිය නොහැකි පිළිතුරු පවා ලැබුණමුත්, එකද ළමයෙකු හෝ දෙමළ යන පිළිතුර දුන්නේ නැත.
මේ කාරණය මා ගුරු කාමරයේදී කියන විට අපේ මිතුරු ගුරුවරුන්, ගුරුවරියන්ගේ මුහුණින් ප්‍රකාශ වුණ නොදන්නාකම මට තවමත් මතක ය. වාසනාවට එක් අයෙකු ‘දෙමළ නේද?’ ඇසුවා ය. මේ තත්වය අද වන විට වෙනස් වී තිබේ ද?
ඒ ආසන්න වකවානුවකදී මා දුටු තවත් කරුණක් වන්නේ, දුෂ්කර පාසලක තුන්වන ශ්‍රේණියට ඉගැන්වූ ගුරුවරියක් විවිධ ඇඳුම් අන්දා ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරමින් ලංකාවේ ජීවත් වන ජාතීන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යයි ඉගැන්වීමයි.
භාෂාව, ජාතිය, ආගම ගැන දරුවන්ට පැහැදිලිව ඉගැන්වීමක් පාසල් අධ්‍යාපනය තුළ නැත. ළමයින්ට මේවා නිතර පැටලේ. ජාතිය වෙනුවට ආගමේ නම කියන ළමයින් එමට ය. ඉංග්‍රීසි භාෂාවෙන් මේ වෙනස්කම් සහිත පද භාවිතය ළමයින්ට හුරු ම නැත. මා මේ කියන්නේ ගුරුවරයකු ලෙස මගේ අත්දැකීම් ය. ඔබේ දරුවාගෙන් මෙහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරගත හැකි ය. මා ඉගැන්වූ සෑම පන්තියක ම ළමයින් සමග මම මේ කරුණු සාකච්ඡා කළෙමි.
පසු කලෙක මා අර්ධ නාගරික පාසලක ඉංග්‍රීසි, මාධ්‍ය යන විෂයන් උගන්වමින් පාසලේ ක්‍රිකට් භාරව ද කටයුතු කළෙමි. දෙමළ මාධ්‍යය ඉගැන්වූ පාසලක් ලෙස දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම පාසලේ දෙමළ අංශය ක්‍රියාත්මක වූයේ වෙනම අනුබද්ධයක් ලෙස ය. මේ අංශ දෙක එකම භූමියේ එකට තිබුණත්, සිංහල හා දෙමළ ළමයින් මුසු වන පරිදි ක්‍රියාකාරකම් සිදුකෙරුනේ නැත. පාසලේ පොදු ක්‍රියාකාරකම් බොහොමයකට දෙමළ සිසුන් සහභාගි කරගැනුණේ ද නැත. මා ක්‍රිකට් භාරව සිටියදී එම සිසුන් කිහිපදෙනෙකු ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන්වාගත්තෙමි. ක්‍රීඩාවේ යෙදෙන විට ඔවුන් අතර භේද තිබුණේ නැත.
ඉහත කී සිසුවිය තමන්ට දෙමළ මිතුරකු නැති වීම ගැන වැඩිහිටියන්ට දොස් පැවරීමේ කිසිදු වරදක් නැත. මව්පියන්, ගුරුවරුන් දරුවන්ට ජාතිවාදය පුරුදු කරන හැටි මම දැක ඇත්තෙමි.
ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරන්නට ය කියා දෙවන බස ලෙස සිංහල සිසුන්ට දෙමළත්, දෙමළ හා මුස්ලිම් සිසුන්ට සිංහලත් ඉගැන්වීම හඳුන්වා දෙන ලදී. අවසානයේදී එය ද තව ටියුෂන් ජාවාරමක් පමණක් බවට පත් විය. සිංහල සිසුන්ට දෙමළ බස උගන්වන ගුරුවරුන් වැඩිදෙනෙකුට දෙමළ කතා කරන්නට බැරි බව මම නිරීක්ෂණය කර ඇත්තෙමි.
සාමය ගොඩනැගීම සඳහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන දකුණෙන් උතුරට, උතුරෙන් දකුණට තරුණ හුවමාරු වැඩසටහන් කරනු මම දැක ඇත්තෙමි. එහෙත්, අපේ ගම් පැත්තේ එක ගම බෙදාහදාගෙන ජීවත් වෙන දෙමළ, සිංහල මිනිසුන් අතර ජාතික සමගිය ඇති කරන්නට වැඩ කරන කිසිවෙකු නැත. ලංකාවේ ජාතීන් අතර සාමය ගොඩනගන්නට ය කියා රාජ්‍ය නොවන සංවිධාන විසින් වියදම් කරන ලද මුදල් කන්දරාව අසීමිත ය. ඉහත කී ගැහැණු ළමයාගේ ප්‍රශ්නයට ඔවුන් වගකිව යුතු නැද්ද?