දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජනතා බලවේගය විසින් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තෝරාගෙන 2019 අගෝස්තු 18දා කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්‍රකාශයට පත් කළේ ය.
අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් 21දා ගලේවෙල, දේවහූවදී උපත ලැබ, පසුව මව්පියන් සමග කැකිරාව ආඬියාගල පදිංචිව සිටි බව වාර්තා වේ.
ඔහුගේ පියා කම්කරුවෙක්. මව ගෘහනියක්. ඔහුට එක් සහෝදරියක් සිටිනවා. ඔහු දැන් විවාහකයි දරුවන් දෙදෙනෙකි.
මුලින් තඹුත්තේගම ගාමිණී ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු පසුව තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අපොස උසස් පෙළ විභාගය ගණිතය විෂය ධාරාවෙන් සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය දිනා ගත් පළමු ශිෂ්‍යයා වන්නේ ඔහු ය.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ වන්නේ පාසල් ශිෂ්‍යයකු ලෙසයි.
1992 දී භෞතික විද්‍යා උපාධිය සඳහා මුලින් පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඔහු තවත් සිසුන් පිරිසක් සමග පසුව කැලනිය විශ්වවිද්‍යාලයට මාරුවෙයි. 1995දී ඔහු උපාධිය ලබාගනියි.
1997 දී ‘සමාජවාදී ශිෂ්‍ය සංගමයේ’ ජාතික සංවිධායක ලෙස ද මධ්‍යම කාරක සභාවට ද පත්වන ඔහු 1998දී ජවිපෙ දේශපාලන මණ්ඩලයට පත්වෙයි.
1998 මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ජවිපෙ මහ ඇමති අපේක්ෂකයා විය.
ඔහු මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2000දී ය.
ජවිපෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වී බිහිකරන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2004දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වන අනුර කුමාර දිසානායක එම රජයේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් ඇමති ධුරය ද හොබවනවා. වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීම ඔහුගේ නායකත්වයෙන් ඇරඹුණු ප්‍රධාන ව්‍යාපෘතියයි.
2008 වසරේදී ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වශයෙන් පත්වන ඔහු 2010දී ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වෙනවා.
2015 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනුයි. 2015 සැප්තැම්බර් 3 වෙනිදා සිට 2018 දෙසැම්බර් 17 වෙනිදා දක්වා ඔහු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරනවා.
2014 පෙබරවාරි 2 දින පැවැත්වුණ ජවිපෙ හත්වන ජාතික සම්මේලනයේදී අනුර කුමාර ජවිපෙ නායක ලෙස පත්විය.
ඔහුගේ විනෝදාංශය ලෙස ඔහු වරක් මාධ්‍යයක සඳහන් කළේ වැවේ පිහිනීමයි. ඔහු පිහිනුම් තටාකවලට කැමති නැති බව ද ඔහු එහි සඳහන් කළා.
ඔහුගේ ජීවිතයට බලපෑ පොත් වන්නේ මක්සිම් ගෝර්කිගේ අම්මා, ලියෝ තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය වැනි රුසියානු සාහිත්‍යය, ඒබ්‍රහම් ටී. කොවුර්ගේ පොත්, මාක්ස්, එංගල්ස්, ලෙනින්, මැන්ඩෙලා, කස්ත්‍රෝ, ගාන්ධි, මාෂල් ටිටෝ වැනි අයගේ චරිත කතා ආදියයි.