අජිත් පැරකුම් ජයසිංහ
ලංකාව වර්තමානයේදී මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විවිධ විසඳුම් ඉදිරිපත් වෙමින් තිබේ. මෙම විසඳුම් අතර දැකිය හැකි මූලික ලක්ෂණයක් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.
ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද විසඳුම පිළිබඳ අපි පසුගිය සතියක සාකච්ඡා කළෙමු. තවත් පක්ෂ විසින් ද විවිධ විසඳුම් ඉදිරිපත් කරනු දක්නට ලැබිණි.
ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින විසඳුම ලෙස දැකිය හැක්කේ කුමන හෝ ආකාරයකින් විදේශ සංචිත ගොඩනගාගනිමින්, ණය ගෙවීම සඳහා තවත් ණය ලබාගත හැකි පසුබිමක් නිර්මාණය කරගෙන, කොහෙන් හෝ තවත් ණය රැගෙන, ගත් ණය පොළියත් සමග ගෙවා දැමීමයි. ඒ අතරවාරයේ ඉස්පාසුවක් ලදහොත් තව තවත් ණය ලබාගනිමින් මෙගා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට තිබේ.
මෙම මෙගා සංවර්ධන ව්‍යාපෘති වන්නේ අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වේ. අත්‍යවශ්‍ය යටිතල සංවර්ධන ව්‍යාපෘති ලෙස සැලකිය හැකි බලශක්ති ව්‍යාපෘතියක් වන යුගදනවි වෙනුවෙන් ආණ්ඩුව ඇමරිකා එක්සත් ජනපදය සමග හවුල් ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කර තිබේ. එය ශ්‍රී ලංකාවට දැඩි ලෙස අවාසිදායක බව ආර්ථික ජාතිකවාදීන්ගේ මතයයි.
අලුත්ම සංවර්ධන ව්‍යාපෘතියක් වන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ ඉන්දු ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියයි. එය ද ඉන්දියාවට වාසිදායක කොන්දේසි මත සිදුවන්නකැයි ආර්ථික ජාතිකවාදීහු පවසති.
එක්සත් ජනපදය, ඉන්දියාව හා චීනය ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය සමග ඍජුවම සම්බන්ධ වී සිටිනු දැකිය හැකිය. ඔවුන් විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර සමග ඔවුන්ගේ මූලෝපායික අවශ්‍යතා බැඳී තිබෙන බවට ආර්ථික ජාතිකවාදීන් විසින් චෝදනා නගනු දැකිය හැකිය.
ආර්ථික ජාතිකවාදීන් ලෙස මා මෙහි හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාතිකවාදී ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරන අයයි. ඔවුන්ගේ මූලික අදහසක් වන්නේ ශ්‍රී ලංකාව හැකි තරම් දේ රට තුළ නිෂ්පාදනය කරගනිමින් පරිභෝජනය කරන අතර, හැකි තරම් දේ අපනයනය කළ යුතු බවයි. බොහෝ දියුණු රටවල් ද කරන්නේ එයයි. එහෙත්, වර්තමාන ගෝලීය ආර්ථික සංදර්භය තුළ එසේ කිරීම කෙතරම් සාර්ථකද යන ප්‍රශ්නය මතුවේ. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනය කරනමුත්, රටට අවශ්‍ය මකන කෑල්ල ද පිටරටින් ආනයනය කරන බවට ඇතැමෙකු මැසිවිලි නඟනු ඇසේ. ඒ අනුව, අප මකන කෑල්ලේ සිට හැකි හැම දේම මෙරට අමුද්‍රව්‍යවලින් මෙරටම නිපදවා ගත යුතුය.
මෙයට ප්‍රතිවිරුද්ධ තර්කනය වන්නේ ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකය සමග මනාව බද්ධ විය යුතු බවයි. එම අදහස ප්‍රවර්ධනය කරන්නන් මෙහිදී ආර්ථික ජාත්‍යන්තරවාදීන් ලෙස හඳුන්වනු ලැබේ. කුඩා රටක් නිසා එහිදී ආර්ථික ජාතිකවාදයට විශාල අවස්ථාවක් නැති බව එම තර්කයේ පදනමයි. එහිදී දේශීය රබර්වලින් මකන කෑල්ල පවා නිෂ්පාදනය කිරීම වෙනුවට, රබර් අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය කර වැඩි මිලක් ලබාගනිමින්, අඩු මිලට මකන කෑලි මිලදී ගත හැකි ආකාරයක් තිබේ නම් ඒවා ආනයනය කළ යුතුය. රබර්වලින් දේශීයව නිෂ්පාදන සිදුකිරීමේදී, පාරිසරික සාධක ආදිය ගැන සැලකිලිමත් වෙමින්, ලංකාවට වැඩිම වාසිදායක නිෂ්පාදන කෙරෙහි යොමුවිය යුතුය. උදාහරණයක් ලෙස, අත්වැසුම්, ටයර් වැනි කර්මාන්ත ඔස්සේ ශ්‍රී ලංකාවට විදේශ වෙළඳපොළවල් නිර්මාණය කරගත හැකිය.
ලංකාවේ පොස්පේට්, ඉල්මනයිට් වැනි දේශීය ඛනිජ සම්පත් මෙරට තුළම විකසනය කර වටිනාකම් එකතු කළ නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කළ යුතු බවට ජනප්‍රිය ජාතික ආර්ථිකවාදී මතයක් තිබේ. එහෙත්, ලංකාව එහිදී මුහුණදෙන මූලික ප්‍රශ්නය වන්නේ එවැනි කර්මාන්තවලදී නිකුත්වන අපද්‍රව්‍යවලට කුමක් කරන්නේද යන්නයි. කලුතර දිස්ත්‍රික්කයේ අඟුරුවාතොට පිහිටුවා තිබෙන හේලීස් සමාගමේ රෙදි කර්මාන්තශාලාවට එරෙහිව බොහෝ කාලයක් තිස්සේ පාරිසරික විරෝධයන් එල්ල විය. දැන් ශ්‍රී ලංකාව ප්‍රතිපත්තියක් ලෙස රෙදි කර්මාන්තශාලා පිහිටුවීමට අවසර දෙන්නේ මඩකලපුවේ එරාවුර්හිය. හේතුව අපද්‍රව්‍ය බැහැර කිරීම වඩා පහසු වීමයි. රතුපස්වලදී, රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවකට එරෙහිව ඇතිවූ මහජන විරෝධය හා රජය විසින් සිදුකළ ඝාතන ද මෙහිදී සිහිපත් වේ.
ශ්‍රී ලංකාව වර්තමානය වන විට මුහුණදී තිබෙන විදේශ විනිමය අර්බුදය හමුවේ බොහෝ ආනයන සිදුකිරීම ගැටලුවක් වී තිබේ. ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය වන රුපියල ඩොලරයට සාපේක්ෂව කෘත්‍රිම ලෙස ආරක්ෂා කිරීමට වඩා එය පාවීයන්නට ඉඩහැරීමෙන් රටේ ආනයන හා අපනයන ස්වයංව පාලනය වන වටපිටාවක් නිර්මාණය විය හැකි බවට අප ඉහත සඳහන් කරන ලද ආකාරයේ ආර්ථික ජාත්‍යන්තරවාදීන් අතර අදහසක් තිබේ. උදාහරණයක් ලෙස, පිටරට මකන කෑලි ආනයනය කිරීම තවදුරටත් ලාභදායී නොවන බව වැටහෙන විට ශ්‍රී ලංකාවේ මකන කෑලි නිෂ්පාදනය කිරීම සඳහා ආයෝජකයන් පෙළඹෙනු ඇත.
පොහොර, යන්ත්‍රසූත්‍ර, ඉන්ධන, කෘමිනාශක, වල්නාශක ආදී ආනයනික යෙදවුම් සමග ශ්‍රී ලංකාවේ ශ්‍රමය, පස, ජලය, ඔක්සිජන් හා හිරු එළිය යොදා ආහාර නිෂ්පාදනය කිරීමට වඩා ආහාර ආනයනය කිරීම ලාභදායී වන යුගයක් ලංකාවේ පැවතිණි. එම වකවානුවේදී හාල් කිලෝවකට රු. 65ක් වැනි අධික බද්දක් පණවනු ලැබුවේ සහල් ආනයනය අධෛර්ය කිරීමටයි. එහෙත්, මේ වන විට, විදේශ විනිමය හිඟය නිසා කෘෂිකර්මාන්තය සඳහා ආනයනික යෙදවුම්වල මිල අධික වී තිබේ. ඒ නිසා දේශීය ආහාරවල මිල ද ඉහළගොසිනි. ආහාර ආනයනය ලාභදායී බව බැලූබැල්මට පෙනුණත්, ආහාර ආනයනය සඳහා විදේශ විනිමය නැති නිසා ආනයනික ආහාර ද මිල අධිකය. ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය මෙසේ විවෘත වීමත් සමග දේශීය කෘෂිකර්මාන්තයේ යම් හැඩගැසීම් ද සිදුවනු දැකිය හැකිය. බුද්ධිමත් ගොවීන් හා කෘෂි ව්‍යවසායකයන් තත්වයෙන් වාසි ලබන බවක් ද පෙනේ.
මේ අනුව බලන කල ආර්ථික අර්බුදයට ඉදිරිපත් කරනු ලබන විසඳුම් මේ ආකාරයෙන් මූලික පදනම් දෙකක් මත නිර්මාණය වේ. එනම්, ආර්ථික ජාතිකවාදය හා ආර්ථික ජාත්‍යන්තරවාදයයි. ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි, එම නිසා ණය ලබාගැනීමටත් නොහැකි රටක් බවට පත්වෙමින් තිබෙන සංදර්භය තුළ ආර්ථික ජාත්‍යන්තරවාදීන් පවසන්නේ ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගනිමින්, ඒ සඳහා මූලික කොන්දේසි වන රාජ්‍ය මූල්‍ය විනය ගොඩනගාගත යුතු බවයි. එනම්, රාජ්‍ය ආදායම් ඉහළනංවාගනිමින්, වියදම් අවම කරගනිමින්, රජය ව්‍යාපාරකරණයෙන් ඉවත් වී, පෞද්ගලික අංශය සංවර්ධනයේ එන්ජිම බවට පත්කරගෙන කටයුතු කිරීමයි.
එහෙත්, ආණ්ඩුවේ ආර්ථික ජාතිකවාදී දේශපාලකයන් හා නිලධාරීන් එයට අකැමැත්තක් දක්වති. ඔවුන් ශ්‍රීලන්කන්, ලිට්‍රෝ ගෑස්, ශ්‍රී ලංකා ටෙලිකොම්, විදුලිබල මණ්ඩලය, ඛනිජතෙල් සංස්ථාව, වරාය අධිකාරිය වැනි රාජ්‍ය ව්‍යවසාය හරහා ඉහළ නිලධාරීන්ගේ වැටුප්වල සිට අන්තේවාසිකයන්ට රැකියා ලබාදීම දක්වා විවිධ වාසි ලබාගනිති. ශ්‍රී ලංකාවේ අතිශය අකාර්යක්ෂම රාජ්‍ය අංශය මේ වන විට ප්‍රධාන රැකියා උල්පත වී තිබේ. 2020දී රාජ්‍ය ආදායමින් 77%ක් වැයවුණේ රජයේ නිලධාරීන්ගේ වැටුප් ගෙවීමටයි.
ආර්ථික ජාත්‍යන්තරවාදීන් පෞද්ගලීකරණයට පක්ෂය. රාජ්‍ය අංශය හකුළමින් පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම දිරිගන්වති. රාජ්‍ය අංශය ආර්ථික ක්‍රියාවලියෙන් ඈත්කර ආර්ථිකය නියාමනයට සීමාකිරීමට පක්ෂ වෙති. ඔවුහු නිදහස් විනිමය අනුපාතිකයට, ආරක්ෂණයන් ඉවත් කර වෙළඳපොළ නිදහස් කිරීමට, ආනයන අපනයන සීමා ඉවත් කිරීමට, පෞද්ගලීකරණයට, විදේශ ආයෝජන සඳහා වැඩි නිදහසක් ලබාදීමට හා ආර්ථික ගෝලීයකරණයට පක්ෂ වෙති.