ඉන්දියාවේදී වෙනත් පුද්ගලයෙකුට අපහාස කරන ඕනෑම අයෙකුට 1860 ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 500 වගන්තිය යටතේ වසර දෙකකට නොවැඩි කාලයක් සඳහා දඩ, සරල සිරදඬුවම් හෝ දෙකම ඇතුළත් දඬුවමට ලක්වේ.
“හොරුන් සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි” රාහුල් ගාන්ධි නැගූ ප්‍රශ්නයක් හේතුවෙන් 2019 වසරේදී ගුජරාට් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් පවරන ලද සාපරාධී අපහාස නඩුවක් අවසානයේදී ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය අද(23) නියම කර තිබේ. (දැනට ඔහුට ඇප ලැබී තිබේ.)
අතීතයේදී අපහාස කිරීම ශ්‍රී ලංකාවේ ද සාපරාධී වරදක් වූ අතර දණ්ඩ නීති සංග්‍රහය යටතේ දෙවසරක සිර දඬුවමක් නියම කළ හැකි විය. 2002 වසරේදී එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය විසින් අපහාසය අපරාධමය නොවන වරදක් බවට පත්කරන ලදි. සාපරාධී අපහාස නීතිය ඉවත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාවයි.
ලංකාව වැනි පසුගාමී ජනතාවක්, සිවිල් සමාජයක් හා දේශපාලන නායකත්වයක් ඇති රටකට එවැනි තත්වයක් යෝග්‍ය යයි ඔබ සිතනවාද?
2002දී සාපරාධී අපහාස නීතිය සංශෝධනය කර අපහාසය අපරාධ වරදක් නොවන තත්වයට පත්කරද්දී සමාජ මාධ්‍ය භාවිතයට පැමිණ තිබුණේ නැති බවත් අප සිහිපත් කරගත යුතුය. අද වන විට ඕනෑම කෙනෙකු ඕනෑම කෙනෙකුට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරන තත්වයක් නිර්මාණය වී තිබේ. එමගින් වින්දිතභාවයට පත්වන පුද්ගලයන්ට නීතිිමය සහනයක් ලබාගැනීම අතිශය දුෂ්කර වී තිබේ.
අපහාසය කොයි තරම් දුර ගොස් තිබේදැයි වටහාගැනීමට ආසන්න සිදුවීම් දෙකක් සිහිපත් කළ හැකිය. එකක් ආදර්ශා කරඳන හා සමගි ජන බලවේගයේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසින් ආශු මාරසිංහට කරන ලද අපහාසයයි. අනෙක, ජාතික ජන බලවේගයේ නලින් හේවගේ විසින් සමන් රත්නප්‍රියට හිරු බලය වැඩසටහනේදී කරන ලද අපහාසයයි.
එයට සාපේක්ෂව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නම් දැඩි නීති ක්‍රියාත්මක වනු දැකිය හැකිය.