අජිත් පැරකුම් ජයසිංහ
සවුදියේ රාජ්‍ය අභිචෝදක කාර්යාලය විසින් ඊයේ ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාග පිළිබඳ කරන ලද නිවේදනය අනුව, ඝාතනයට ඍජුව සම්බන්ධ වීම පිළිබඳ පස්දෙනෙකුට මරණ දඬුවම පනවා තිබෙනවා. තව තිදෙනෙකුට අපරාධය වසන් කිරීම හා නීති උල්ලංඝනය සම්බන්ධයෙන් වසර 24ක සිර දඬුවම් පනවා තිබෙනවා. සැකකරුවන් 31දෙනෙකුගෙන් 21දෙනෙකු අත්අඩංගුවට ගෙන, 11දෙනෙකුට එරෙහිව නඩු විභාග කර තිබෙනවා.
මෙම තීන්දුව ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයට ලක් වී තිබෙනවා. සිය තුර්කි ජාතික පෙම්වතිය විවාහ කරගැනීම සඳහා අවශ්‍ය ලේඛනයක් ලබාගැනීම සඳහා 2018 ඔක්තෝබර් 2දා තුර්කියේ ඉස්තාන්බුල්හි සවුදි කොන්සල් කාර්යාලයට පැමිණි සවුදි ජාතිකයකු වූ ජමාල් කශෝගි තානාපති කාර්යාලය තුළ ම ඝාතනය කර මළසිරුරු සැඟවීමේ මෙහෙයවීම සම්බන්ධයෙන් සවුදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරු චෝදනාවට ලක්වී තිබෙනවා. එහෙත්, ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු මුත්, රහස් මෙහෙයුම්කරුවන් විසින් මෙම ඝාතනය කර තිබෙන්නේ ඔහුගේ අණකින් තොරව ස්වාධීන තීරණයකින් බවයි.
සවුදියෙන් පළාගොස් එක්සත් ජනපදයේ වර්ජිනියාහි වාසය කරන පුවත්පත් කලාවේදියකු වන 59 හැවිරිදි ජමාල් කශෝගි වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලියන ලද ලිපි හේතුවෙන් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සිදුකරන නායකයකු ලෙස සල්මන් කුමරුට හිමි වූ ප්‍රතිරූපය අභියෝගයට ලක්කෙරුණා. (මෙය ලංකාවේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා සමාන සිද්ධියක්.)
එහෙත්, මෙම ඝාතන මෙහෙයුම සඳහා 15දෙනෙකුගෙන් යුත් සුවිශේෂ කණ්ඩායමක් ඝාතනයට පැය ගණනකට පෙර පැමිණ තිබෙන බව එක්සත් ජාතීන්ගේ විමර්ශන මගින් සොයාගෙන තිබෙනවා. එම පිරිස අතර කශෝගිගේ හැඩරුවට සමාන පුද්ගලයකු ද සිටිනවා. ඔහු තමයි කශෝගි අදාළ රාජකාරිය කරගෙන කොන්සල් කාර්යාලයෙන් පිට වී යන ආකාරය සීසීටීවී දර්ශන වල වාර්තා කිරීම සඳහා යොදාගැනුණු බොඩි ඩබල. මෙම කණ්ඩායම තුළ අස්ථි කපන කියතක් රැගත් වෛද්‍යවරයකු ද සිටි බව හෙළි වී තිබෙනවා. කශෝගිගේ සිරුර සූට්කේස්වල අසුරන ආකාරය ගැන ඔවුන් ඝාතනයට පෙර සාකච්ඡා කරන පටිගතකිරීම් ද තිබෙනවා. කොන්සල්වරයා පරීක්ෂණ සඳහා කොන්සල් කාර්යාලයට පිවිසීමට තුර්කි පොලිසියට ඉඩදීමට පෙර ස්ථානයේ වෝහාරික මට්ටමේ පිරිසිදුකිරීමක් සිදු කර සාක්ෂි විනාශ කළ බව ද හෙළි වී තිබෙනවා. කශෝගිගේ සිරුර තවමත් හමු වුණේ නැහැ.
මෙම නඩු විභාගය රියාද්හි පැවැත්වුණේ රහසිගතවයි. විත්තිකරුවන්ගේ නම් පවා හෙළිදරව් කරනු ලැබුවේ නැහැ. විදේශ නියෝජිතයන් මෙම විභාගය නිරීක්ෂණය කිරීමට සහභාගි වූ මුත්, ඔවුන්ට පවා නඩු විභාගය පිළිබඳ අදහස් පළකරන්නට තහනම්. සවුදියේ නීති පද්ධතිය ලංකාවේ නීතියට වඩා වෙනස්. එය රාජ්‍ය ත්‍රස්තවාදය ආරක්ෂා කිරීමට මූලධාර්මිකව ම හිතවාදීයි. ලංකාවේ නීති පද්ධතිය වඩා ප්‍රජාතාන්ත්‍රිකයි.
සවුදි අරාබියේ ජීවත් වන ජමාල් කශෝගිගේ දරුවන් හට වන්දි ලෙස මුදල් හා දේපල ලබාදීමට සවුදි රජය කටයුතු කළා. ඔවුන් මෙම නඩු විභාගය හා තීන්දුව පවා ප්‍රශංසාවට ලක්කරනවා. එළියේ ඉඳන් කෑගහන අයගේ කට වහන්නට සවුදිය පාවිච්චි කරන්නේ කශෝගිගේ දරුවන්. බලන්න, කොයි තරම් දක්ෂ ද?
සවුදි රාජ්‍ය ත්‍රස්තවාදී සංස්කෘතියෙන් ශ්‍රී ලංකාවට හා ලොව වෙනත් චෞර රාජ්‍යවලට ඉගෙනගත හැකි පාඩම් රැසක් තිබෙනවා. එකක් නම්, පාලකයන්ගේ ප්‍රතිරූපයට අභියෝග කරන ජනමාධ්‍යකරුවන් ඝාතනය කිරීමේදී එය ඉතා සියුම් ලෙස සැලසුම් කළ යුතු බවයි. එවැනි ඝාතන සැලසුම් කිරීමේදී ශ්‍රී ලාංකික ඝාතන කල්ලි අතිශය දුර්වල බව ද, පූර්ණ රාජ්‍ය රැකවරණය නොමැතිව ඔවුන්ට මුක්තිය ලබාගැනීමට නොහැකි බව ද, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ වැනි ඝාතනවලින් සහ ජනමාධ්‍යකරුවන්ට පහරදීමේ සිද්ධිවලින් ද පෙනෙනවා. කශෝගිගේ මළසිරුර ජාත්‍යන්තර විමර්ශනයකින් හෝ සොයාගත නොහැකි වුණා. හැබැයි, ප්‍රගීත්ගේ මළසිරුර ද එසේ සොයාගන්නට බැරි වුණා. එතැනදී නම් ඔවුන් දක්ෂ වී තිබෙනවා. හැබැයි, ඒ දක්ෂකම් පසුපස තිබුණේ විමර්ශන සිදු නොකිරීමේ මුක්තියයි. දැන් දැන් ලෝකයේ එතරම් දණ්ඩමුක්තියක් බලාපොරොත්තු වෙන්නට බැහැ.
දෙවෙනි වැදගත් ම පාඩම වන්නේ වැඩේ ගැස්සුණ පසු එය කළමනාකරණය කරගන්නා ආකාරයයි. එහිදී පාලකයාට හා සෙසු ප්‍රභූන්ට පෙර පූර්ණ වගකීම භාරගන්නට ද පිරිස් සිටිය යුතුයි. කශෝගි සිද්ධියේදී රහස් මෙහෙයුම්කරුවන් ඇත්තට ම වරදක් සිදු කර තිබේ. එනම්, වැඩේ පත්තු වීමයි. තානාපති වරප්‍රසාද පවා පාවිච්චි කර සිදුකරන ලද එවැනි සැලසුම් සහගත මෙහෙයුමක් හසු නොවන පරිදි කරන්නට බැරි වී නම්, රජය ඇත්තට ම ඔවුන්ට දඬුවම් කළ යුතුයි. මේ සිදු වී තිබෙන්නේ එයයි. මෙවැනි මෙහෙයුම්වල යෙදෙන්නන්ගේ පක්ෂපාතිත්වය ඉතා වැදගත්. ඔවුන් ඒවාට යොදාගත යුත්තේ හුදු රැකියාව සඳහා නොවේ. ඔවුන්ට තමන් කරන කාර්යය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුයි. නියම ඝාතකයකු හට තමන්ගේ ඝාතනය ද තවත් එක් මරණයක් පමණි.
රාජ්‍ය ඝාතන සංස්කෘතියේ තුන්වන වැදගත් පාර්ශ්වය තමයි පාලක ගැති මහජන නායකයන්. ඔවුන් කළ යුතුව තිබෙන්නේ රාජ්‍ය ක්‍රියාමාර්ග වර්ණනා කිරීම මිස ලංකාවේ භික්ෂූන් කරන පරිද්දෙන් විත්තිකරුවන් වෙනුවෙන් ලසෝ ලැව්ගිනි ඇවිළවීම නොවෙයි. රාජ්‍ය ත්‍රස්තවාදය කියන්නේත් අනෙකුත් ත්‍රස්තවාදයන් පරිද්දෙන් ම යම් යම් අයට වගකීම භාරගන්නට සිදුවන, ඒ වෙනුවෙන් වන්දි ගෙවීම අත්‍යවශ්‍ය වූ තත්වයක් බව ලංකාවේ පාලක ගැති මහජන නායකයන් මූලිකව ම අනුගමනය කළ යුතුයි.
රාජ්‍ය ත්‍රස්තවාදය හා ඝාතන සංස්කෘතිය නැවත ආරම්භ කළ යුතු යයි අප මෙම ලිපියෙන් අදහස් කරන්නේ නැහැ. අප කියන්නේ පාලකයන් ඝාතනවල යෙදෙනවා නම්, සවුදියෙන් උගත හැකි පාඩම් තිබෙන බව පමණයි.
මේ පාඩම්, රාජ්‍ය ත්‍රස්තවාදයේ තවත් අංශයක් ලෙස සැලකිය හැකි පාලකයන්ගේ දූෂණ සම්බන්ධයෙන් ද අදාළයි. ලංකාවේ පාලකයන් දූෂණ සිදුකර හසු වූ පසු පවා වගඋත්තරකරුවන්ට දණ්ඩමුක්තිය බලාපොරොත්තු වෙනවා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය උදාහරණයක්. එතැනදී ද ජමාල් කශෝගි ඝාතනයේදී මෙන් කණිෂ්ඨ පිරිසක් අධිකරණයට යොමුකරනු ලැබූමුත් අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණය මගහැර රටින් පළාගියා. ලංකාවේ නීතිය අනුව, සවුදියට බුද්ධි ප්‍රධානියා හෝ ඉස්තාන්බුල් කොන්සල්වරයා බේරාගත් අන්දමින් වැඩකරන්නට අමාරුයි. ඒත්, පළා යාම වෙනුවට වෙනත් විකල්ප නොමැති නම් ලංකාවට නියම චෞර රාජ්‍යයක් වෙන්නට බැහැ.
මේ ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ ඉදිරියේදී ලංකාව මීට වඩා සිරා චෞර රාජ්‍යයයක් බවට පත්වීම නොවන බව කරුණාවෙන් සලකන්න. එසේම, මෙම සටහන තැබූ මා නිකම් මෝඩයකු මිස උපදේශකයකු නොවන නිසා මෙහි සඳහන් දේ අත්හදාබැලීමට නොයන ලෙස ද අදාළ අංශවලින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.