අජිත් පැරකුම් ජයසිංහ
ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලිය පාලනය වන්නේ රාෂ්ට්‍ර සංගමයක් (Union Territory) ලෙසයි. රාෂ්ට්‍ර සංගමයක් කියන්නේ මධ්‍යම ආණ්ඩුව විසින් පාලනය කරන ප්‍රදේශයක්. එයට ප්‍රාන්ත රාජ්‍යයකට තරම් සන්ධීය රාජ්‍ය බලතල නැහැ. එවැනි රාෂ්ට්‍ර ප්‍රදේශ හතක් ඉන්දියාවේ තිබෙනවා.
69වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
1991 වසරේ 69වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් දිල්ලි ජාතික අගනුවර රාෂ්ට්‍ර සංගමය ලෙස නිල වශයෙන් හැඳින්වෙන දිල්ලි රාජ්‍යයේ වෙනම ම රාජ්‍ය සභාවක් තිබෙනවා. එහි ප්‍රධාන ඇමතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් ඉන්නවා. එම රාජ්‍ය සභාවට යම් දුරකට නීති සම්පාදනය කිරීමේ බලතල තිබෙනවා. දිල්ලි රාජ්‍යයට වෙනම මහාධිකරණයක් තිබෙනවා. එය සාමාන්‍ය මහ නගර සභාවකට වඩා පුළුල් බලතල ඇති පළාත් පාලන ප්‍රදේශයක්.
දිල්ලි රාජ්‍යයේ මිලියන 15ක් පමණ වන ඡන්දදායකයෝ මේ සතියේ නැවත වරක් පෙරළිකාර ඡන්ද ප්‍රතිඵලයක් නිවේදනය කළා. ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයත්, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයත් යන දෙක ම පසුබස්වමින් දූෂණ විරෝධී කුඩා පක්ෂයක් වන ආම් ආද්මි පක්ෂය වෙත දැවැන්ත ජයග්‍රහණයක් ලබා දෙන්නට දිල්ලි අගනාගරික ජනතාව තීරණය කළා. එය කෙතරම් විස්මිත ප්‍රතිඵලයක් ද යත් ආසන 70න් 62ක් ම දිනුවේ ආම් ආද්මි පක්ෂයයි. භාරතීය ජනතා පක්ෂය දිනාගත්තේ ආසන අටක් පමණයි.
2015 ප්‍රතිඵලය මීටත් වඩා ආම් ආද්මි පක්ෂයට වාසිදායකයි. එහිදී ඔවුන් ආසන 70න් 67ක් ම දිනාගත්තා. පාලක භාරතීය ජනතා පක්ෂයට ජය ගත හැකි වූයේ ආසන තුනක් පමණයි. කොංග්‍රස් පක්ෂයට 2015දී මෙන් ම 2020දී ද එක ම ආසනයක්වත් දිනා ගන්නට බැරි වුණා.
භාරතීය ජනතා පක්ෂය පරාද ද?
භාරතීය ජනතා පක්ෂයේ ජනප්‍රිය ජාතිකවාදය බහු ජාතික දිල්ලි රාජ්‍යය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවක් මෙම ප්‍රතිඵලයෙන් පැවසේ යයි කියන්නට බැහැ. ආම් ආද්මි පක්ෂය ජාතික මැතිවරණවලදී ජනප්‍රිය පක්ෂයක් නොවේ. ගිය අවුරුද්දේ පැවති ජාතික මැතිවරණයේදී දිලිලියේ ආසන හතම දිනාගත්තේ භාරතීය ජනතා පක්ෂය විසිනුයි.
ආම් ආද්මි යන දෙවදනේ තේරුම පොදු මිනිසා යන්නයි. සම්ප්‍රදායික වාම පක්ෂවලට කලින් හිමි වී තිබුණු තැන අත්පත් කරගෙන ඇති ආම් ආද්මි පක්ෂය වාමාංශිකයන්ගෙන්, ලිබරල්වාදීන්ගෙන් මෙන් ම අන්ත දක්ෂිණාංශික අදහස් දරන්නන්ගෙන් ද සමන්විතයි. එය එක්තරා විදියක රාජ්‍ය නොවන සංවිධාන ගොනුවක් ද වෙනවා. එය නිශ්චිත, පැහැදිලි සමාජ දෘෂ්ටිවාදයක් මත පදනම් වූ එකකැයි කියන්නට බැහැ. අර්වින්ද් කෙජ්රිවාල්ගේ ආර්ථික දැක්ම දක්ෂිණාංශයට බර බවයි විශ්ලේෂකයන් පවසන්නේ.
හිටපු සිවිල් සේවකයා
ආම් ආද්මි පක්ෂයේ නායකයා වන 51 හැවිරිදි අරවින්ද් කෙජ්රිවාල් මේ අනුව දිල්ලියෙ නවවන මහ ඇමතිවරයා ලෙස පත් වෙනවා. ඔහු හිටපු සිවිල් සේවකයෙක්. ඔහු 2015දී ජයගත්තේ දිල්ලියේ පළමු පොලිස් නිලධාරිනියව සිට පසු කලෙක දූෂණ විරෝධී සමාජ ක්‍රියාකාරිනියක් හා භාරතීය ජනතා පක්ෂ නායිකාවක් වූ කිරාන් බේඩි නම් ප්‍රකට දේශපාලනඥවරි පරාජය කරමිනුයි.
ආම් ආද්මි ගමන ආරම්භයේදී, 2013දී දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී ආසන 70කින් 28ක් දිනා ගන්නට ආම් ආද්මි පක්ෂය සමත් වෙනවා. භාරතීය ජනතා පක්ෂය ආසන 30ක් දිනා ගන්නවා. කෙජ්රිවාල් තරග කළේ නව දිල්ලි ආසනයටයි. එහිදී ඔහු හිටපු මහ ඇමතිනිය වූ ඉන්දීය ජාතික කොංග්‍රසයේ ශීලා ඩික්සිත් වැඩි ඡන්ද 25,000කට වැඩි සංඛාවකින් පරාජය කරනවා.
තවත් පක්ෂ කීපයක සහයෝගය ඇතිව දිල්ලි රාජ්‍ය සභාවේ පාලනය පිහිටුවන්නට ආම් ආද්මි පක්ෂය සමත් වෙනවා. අරවින්දි කෙජ්රිවාල් මහ ඇමති ලෙස පත් වෙනවා. එහෙත් කෙජ්රිවාල්ගේ දුර්වල සභාගයට දිල්ලි පාලනය අල්ලාගෙන සිටින්නට බැරි වෙනවා. සිය පක්ෂය විසින් යෝජනා කරන ලද දූෂණ විරෝධී ජාන් ලෝක්පාල් පනත දිල්ලි ව්‍යවස්ථාදායක සභාවේ සම්මත කර ගැනීමට සෙසු පක්ෂ ප්‍රමාණවත් අන්දමින් සහයෝගය නො දීම ගැන චෝදනා කරමින් කෙජ්රිවාල් 2014 පෙබරවාරි 14දා මහ ඇමති තනතුරින් ඉල්ලා අස් වෙනවා. නැවත මැතිවරණයක් පැවැත්විය යුතු යයි ඔහු නිර්දේශ කරනවා. එතැන් සිට දිල්ලිය පැවතියේ ජනාධිපති පාලනය යටතේයි.
අර්වින්ද් කෙජ්රිවාල්ගේ පියා වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙක්. ඔහුගේ රැකියා හේතුවෙන් අර්වින්ද්ට බොහෝ විට ජීවත් වන්න හා ඉගෙන ගන්න වුණේ ඔහු උපන් හර්යානා ප්‍රාන්තයෙන් පිටතයි. පසුව ඔහු ද යාන්ත්‍රික ඉංජිනේරුවරයකු ලෙස උපාධි ලබා ගත්තා. මුලින් ඔහු වැඩ කළේ ටාටා ස්ටීල් සමාගමේයි. පසුව සිවිල් සේවා විභාගය සමත් වී දේශීය ආදායම් ඒකාබද්ධ කොමසාරිස්වරයකු ලෙස 1995දී රාජ්‍ය සේවයට එකතු වුණා.
වසර 2000දී කෙජ්රිවාල් නිවාඩුවෙන් පසු අවම වසර තුනක කාලයක් රජයේ සේවයේ යෙදෙන කොන්දේසිය පිට වැටුප් සහිත නිවාඩු ලැබ වැඩිදුර අධ්‍යාපනය සඳහා නිදහස් වුණා. 2003දී යළි සේවයට වාර්තා කළ ඔහු වසර එකහමාරකට පසු නැවතත් වැටුප් රහිත නිවාඩුවක් ලබා ගන්නවා. එවර නැවතත් වසර එකහමාරක කාලයක් නිවාඩු පිට සිටින ඔහු 2006දී ඔහු දේශීය ආදායම් ඒකාබද්ධ කොමසාරිස් තනතුරෙන් ඉවත් වෙනවා.
එහෙත්, ගිවිසුම අනුව වසර තුනක කාලයක් සේවය නො කළ නිසා ඔහු වැටුප් රහිත නිවාඩු සමයේ ලබා ගත් වැටුප ආපසු ගෙවිය යුතු බව ඉන්දීය රජය කියා සිටියා. කෙජ්රිවාල් වසර ගණනාවක් ම තර්ක කරමින් සිටියේ ඔහු වැටුප් සහිත නිවාඩුවෙන් පසු වැඩ කළ අවුරුදු එකහමාරත්, වැටුප් රහිතව සේවයෙන් බැහැරව සිටි වසර එකහමාරත් එකතු කළ විට ගිවිසුම ප්‍රකාරව ඔහු අනිවාර්යයෙන් සේවය කළ යුතු වසර තුන සම්පූර්ණ වන බවයි. කෙසේ වෙතත්, අවසානයේදී, 2011දී, ඒ මුදල ගෙවා දමන්නට ඔහුට සිදු වුණා.
ඔහු කියමින් සිටි කාරණයක් වන්නේ ඔහුට ඉන්දීය රජය එවැනි බලපෑමක් කළේ ඔහු ඒ වන විට ඉන්දීය දූෂණ විරෝධී අරගලයේ නායක අන්නා හසාරේගේ අහිංසාවාදී උපවාස ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු වී සිටි නිසා ය කියායි.
අන්නා හසාරේ
දේශීය ආදායම් ඒකාබද්ධ කොමසාරිස්වයකු ලෙස සේවය කරමින් සිටින අතරතුර ම 1990දී කෙජ්රිවාල් පරිවර්තන් නම් ව්‍යාපාරයක් බිහි කරනවා. එහි මූලික දැක්ම වුණේ වෙනස ආරම්භ වන්නේ සුළු දේවලින් බවයි. දිල්ලියේ අඩු ආදායම්ලාභී ජනතාව අතර ක්‍රියාත්මක වූ සුබසාධන ව්‍යාපාරයක් වූ පරිවර්තන්හි ක්‍රියාකාරකම් වෙනුවෙන් අර්වින්ද් කෙජ්රිවාල්ට 2006දී නැගී එන නායකත්වය සඳහා වූ රැමොන් මැග්සේසේ සම්මානය හිමි වෙනවා.
මැග්සේසේ සම්මාන මණ්ඩලය ඔහු ඉන්දීය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරමින්, රජය ජනතාවට වගවිය යුතු තත්වයට පත් කරමින්, දිල්ලියේ දුප්පත් ම ජනතාව දූෂණයට එරෙහිව සටන් කිරීමට යොමු කිරීම අගය කළා.
අන්නා හසාරේ ඇතුළු දූෂණ විරෝධී අරගලකරුවන්ගේ ඉල්ලීම මත දූෂණවලට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම සඳහා ස්වාධීන ව්‍යූහයක් පිහිටුවීම සඳහා ජාන් ලෝක්පාල් පනත සැකසීම පිණිස ඉන්දීය රජය විසින් පත් කරන ලද කමිටුවේ සිවිල් සමාජ නියෝජිතයා වුණේ අර්වින්ද් කෙජ්රිවාල් ය. එම පනත 2011 දෙසැම්බරයේදී සංශෝධන සහිතව ලෝක්පාල් හා ලෝකායුක්ත පනත ලෙස සම්මත වූ මුත් අනා හසාරේ හා කෙජ්රිවාල් ඇතුළු දූෂණ විරෝධී ක්‍රියාධරයින් එය ප්‍රතික්ෂේප කළා. 2012දී කෙජ්රිවාල් ආම් ආද්මි පක්ෂය පිහිටුවන්නේ දූෂණ විරෝධී අරගලයේ ඊළඟ පියවර මැතිවරණ දේශපාලනය බව අවධාරණය කරමිනුයි. එහෙත් ඒ සමගම අන්නා හසාරේත්, ඔහුත් වෙන් වෙනවා. හසාරේ දේශපාලනයට නො පිවිස තමන්ගේ මාර්ගයේ ම ඉදිරියට යනවා.