අජිත් පැරකුම් ජයසිංහ
බලය බෙදීම අතිශය වැදගත් මාතෘකාවකි. අරගලය ඔය තරම් ඉදිරියට ඒමට හේතු වූයේ ද බලය බෙදීමයි.
අරගලයේ පාර්ශ්ව කවුරුද? ගෝඨාභය එහි ප්‍රධාන පාර්ශ්වයයි. අරගලයට ඉදිරියට යන්නට පූර්ණ අනුග්‍රහය ලැබුණේ ගෝඨාභයගෙනි. එහි අරමුණ කුමක්ද? මහින්ද, බැසිල්, නාමල් වැනි රාජපක්ෂ පවුලේ බලය බිඳදැමීමයි. (මාත් ඒකට කැමතිය.) එසේ කරන්නට උවමනාව තිබුණේ කාටද?
ගෝඨාභය ඇමරිකන් බළල් අතක් බව මුල සිටම පැහැදිලිය. ඔහු වනාහි රාජපක්ෂ බලය බිඳීම සඳහා ඇමරිකාව විසින් කරන ලද විශිෂ්ට සොයාගැනීමකි. ඒ වනාහි ඇතුළෙන්ම නිර්මාණය කරන ලද පිළිකාවකි.
ඇමරිකාවට එසේ කරන්නට අවශ්‍ය වුණ හේතු අතර, ලංකාව සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාවේ බලපෑම ප්‍රධාන වේ. ඔවුන්ට ලංකාවේ ප්‍රශ්නය විසඳාගැනීමට අවශ්‍ය නැතිමුත් හිඟන්නාගේ තුවාලය තවටිකක් පෑරීමේ අවශ්‍යතාව තිබේ. කැනඩාව, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව හා වෙනස් තත්වයක් යටතේ ඉන්දියාව පවා අයත් වන දෙමළ ඩයස්පෝරාව හා දෙමළ දේශපාලනය ප්‍රබල රටවලට ලංකාවේ දෙමළ ප්‍රශ්නය මගහැරිය නොහැකිය. එය ඇතැම් විට, අභ්‍යන්තර මැතිවරණවලදී පවා අදාළය.
ලංකාවේ දෙමළ ප්‍රශ්නය ජාත්‍යන්තර තලයේදී ඔසවන්නේ මානව හිමිකම් ධජය යටතේය. ඒ සඳහා ජාත්‍යන්තර මෙන්ම ලාංකීය මානව හිමිකම් සංවිධාන ද විශාල දායකත්වයක් සපයයි. එතැනදී නම් වැදගත් වන්නේ මානව හිමිකම් සංවිධානවල ව්‍යාපාරික කාර්යය හා රැකියා රඳාපවතින්නේ ඒ වෙනුවෙන් ලැබෙන අරමුදල් මත වීමය. එහි කිසිදු වරදක් නැත. එහෙත්, ඒ අරමුදල් සම්පාදනය වන ආකාරයට ඉහත කී රටවල මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ ද දැඩි බලපෑමක් තිබේ. රාජ්‍ය නොවන සංවිධාන වෘත්තිකයන්ගේ චර්යාවන් හැඩගැස්වීමට මේ කාරණා අදාළ වේ.
ලංකාවේ බලය බෙදීමට විරුද්ධ රාජපක්ෂලාමය. එය ඉතා බොළඳ විරෝධයකි. එසේම, ජාතිවාදය හැර බලයට ඒම සඳහා වෙනත් මාර්ගයක් නැති රතන, ගෙවිඳු වැනි දේශපාලකයන්ගේ හා ඥානසාරගේ පටන් ඩෑන් ප්‍රියසාද් දක්වා අන්තවාදීන්ගේ දේශපාලනයට අනවශ්‍ය අන්දමින් යටවීමකි. මෙය රාජපක්ෂවරුන් විසින් කරන ලද මරිම මෝඩ වැඩවලින් එකකි. මේ තක්කඩින්ගෙන් ගානට වැඩේ ගන්නවා වෙනුවට උන්ව නායකත්වයට ඔසවා තබා උන්ට යටවෙන්නට කිසිදු දේශපාලන හේතුවක් රාජපක්ෂලාට තිබුණේ නැත. ආර්ථික හේතු තිබෙන්නට ඇත. තමන්ගේ දූෂිත ක්‍රමයේ අජූව වසාගන්නට ජාතිවාදයේ සළුපිළි ඔවුන්ට අවශ්‍ය වන්නට ඇත.
අවසානයේදී අරගලය ආවේය. ගෑස් ටැංකි පිපිරීම්, ගෑස් හිඟය, තෙල් පෝලිම් ආදිය තරමක් දුරට කෘත්‍රිමව ඇතිකරන ලද ඒවාය. ගෝඨාභය ඇමරිකාව සමග තිබුණු ඩීල් එක අනුව සමහර විට තව ටික කලකින් ඔහු හා ශවේන්ද්‍ර වැනි ඇමරිකාවට යන්නට බැරුව සිටි අයට නැවත එහි රුවන් දොරටු විවර වනු ඇත.
අරගලයට ඇමරිකන් ව්‍යාපෘති අරමුදල් පමණක් නොව ඉවැන්ජලික ආගමික සල්ලි පවා පොම්ප වූ බව නිරීක්ෂණය කළ හැකිය.
මහින්ද, බැසිල්, නාමල් පමණක් නොව චමල් වැනි අයට පවා ඉල්ලා අස්වන්නට සිදුවිය. අවසානයේදී ගෝඨාභයටත් යන්නට සිදුවිය. එහෙත්, නිර්මාණය වුණ හිස්තැනට එන්ටර් වුණේ රනිල්ය. සජිත් එයට බිය වූයේය. වෙන එන්නට කෙනෙකු සිටියේ ද නැත.
වැඩේට බැස්සේ ලංකාවේ සිටින ගල්කාසම අංකූරාය. සෙට් වුණේ ලෙඩගානේ හිටියත් අරින්නේ නැති මහින්දය. ලංකාව දුර්වල රාජ්‍යයයක් වුණත්, මෙවැනි පාලන බලයක් හමුවේ ඇමරිකාවේ ජුලීලා වැනි අයට පවා ගේම ගෝඨාභය එක්ක තරම් ලේසි නැත.
රනිල් රාජපක්ෂලා ආරක්ෂා කරන බව අමුතුවෙන් කිවයුතු නැත. රාජපක්ෂලා ආරක්ෂා කිරීමෙහි දේශපාලනයක් ද ඇත. රාජපක්ෂලා සංකේතීයව නියෝජනය කළේ සිංහල-බෞද්ධ-ගොවිගම ප්‍රභූ දේශපාලන ආධිපත්‍යයයි. අරගලයෙන් බේරෙ වැවේ බස්සා, ගෙවල් ගිනිතබා ෂොට් එක දුන්නේ ඒ සිංහල බෞද්ධ අධිපතිවාදයටයි.
මෙම අධිපතිවාදය එතරම් හොඳ එකක් නොවේ. එසේම විනාශ කළ යුතු තරම් නරක එකක් ද නොවේ. අපි දිගටම එයට එරෙහිව සටන් කර තිබේ. එහෙත්, සිංහල-බෞද්ධ-ගොවිගම යනු මේ රටේ සංඛ්‍යාත්මකව පවා බහුතරයයි. එය අහෝසි කළ හැකි කාරණයක් නොවේ. එසේම, සිංහල-බෞද්ධ-ගොවිගම බලය යනු සෙසු අය ඇතුළත් කරගන්නා එකක් මිස බැහැරකරනසුලු එකක් නොවේ. එ සඳහා සාක්ෂි ඕනෑතරම් ගෙනහැරපෑ හැකිය. එකක් නම්, එජාප හරහා ආර්. ප්‍රේමදාස ජනාධිපති වීමයි. පොහොට්ටුව අහෝසි කරන්නට කතාකරන අයට එය කළ නොහැක්කක් යයි අප කියන්නෙ ඒ නිසාය.
පොහොට්ටුවට විකල්ප ලෙස නිර්මාණය වී තිිබෙන සජිත් නායකත්වය දෙන පුළුල් සන්ධානය සිංහල-බෞද්ධ-ගොවිගම විරෝධී එකකි. මතක තබාගත යුතු කාරණයක් වන්නේ සිංහල-බෞද්ධ-ගොවිගම විරෝධීන් දෙමළ, මුස්ලිම් ආදී සියලු බලවේග ඒකරාශී කරගත්තත්, තවදුරටත් ඔවුන් මේ රටේ බහුතරය වන්නේ නැත. ඔවුන්ට වාසිදායක එකම කරුණ වන්නේ සිංහල-බෞද්ධ-ගොවිගම පදනම මේ වන විට පොහොට්ටුව හා ජවිපෙ ලෙස බෙදී සිටීමයි. එහෙත්, ජවිපෙ අවසානයේදී කඩාගන්නේ පොහොට්ටු ඡන්දද නැතිනම් සජබ ඡන්දද යන්න සොයාබලන විට නිරීක්ෂණය වන්නේ පොහොට්ටුවේ ක්‍රියාකාරී තලයට නම් ජාතික ජන බලවේගයෙන් බලපෑමක් සිදුවී නැති බවයි.
කවුරු මොනවා කීවත්, ඊළඟ අරගලය සම්බන්ධ තීරණය ගන්නේ ලංකාව ඇතුළෙන් පමණක් නොවේ. රනිල් වික්‍රමසිංහ මෙන්ම මහින්ද රාජපක්ෂ ද මේ බව මනාව අවබෝධ කරගෙන සිටිති. ඒ සන්ධානයේ ශක්තිය මෙම අවබෝධයයි. බලය බෙදීම සම්බන්ධ පාර්ලිමේන්තු නාටකය නිර්මාණය වන්නේ එසේය. බලය බෙදීමට කැමති යයි නැගිටලා කියන්නැයි කිරිඇල්ල මහින්දට අභියෝග කළ විට මහින්ද නැගිට එසේ කළේ ඒ අවබෝධය නිසාය. කිරිඇල්ලට කටඋත්තර නැතිවූ අතර ඉන් පසු කතා කළේ පොහොට්ටුවේ හදවත ගැනය.
දේශපාලනය කළ යුත්තේ හදවතට වඩා මොළයෙනි. එය අන් කවරදාටත් වඩා අදට වැදගත්ය.
අරගලය ඉදිරියට ගන්නට නම් බලය බෙදීමට විරුද්ධ විය යුතුය.