සයුරි කංකානම්ගේ
දේශපාලනඥයෙකු කිසියම් මැතිවරණයක් සඳහා තරගවැදීමේදී සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වියදම් කරන මුදල බොහෝ විට ඔහු හෝ ඇය වාර්ෂිකව උපයන මුදලට වඩා සිය දහස් ගුණයකින් වැඩි බව රටේ සියලු දෙනා දන්නා කරුණකි.
ඔවුන් එසේ කරන වියදම් නැවත ඉපැයීම සඳහා දූෂණයේ යෙදෙන බව ද බොහෝ දෙනෙක් කියති. හැම වංචාවක් ම, දූෂණයක් ම අසුවන්නේ නැත. එහෙත්, දේශපාලකයන් මෙන් ම ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ද ඔවුන්ගේ ආදායමට නොගැලපෙන අන්දමේ වත්කම් උපයාගන්නා ආකාරය දැකිය හැකි ය.
ඒ සම්බන්ධව සමාජය තුළ කිසියම් කතිකාවතක් නොඩ නැගී ඇති නමුදු, වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත් කිරීමට අදාළ දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් පොළඹවන ආකාරයේ බලපෑමක් මෙතෙක් මහජනයා අතරින් ප්රබලව මතු වී නොමැති වීම කණගාටුවට කරුණකි. දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් බොහෝදෙනෙකු තම ආදායම් මාර්ග ප්‍රකාශයට පත් කිරීමට දක්වන්නේ බලවත් අකැමැත්තකි.
ශ්‍රී ලාංකීය දේශපාලනය හා රාජ්‍ය සේවයේ ඉතිහාසය වෙනස් කළ සංධිස්ථානයක් නම්, තොරතුරු දැනගැනීමේ කොමිසම විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් ප්‍රසිද්ධියට පත් කිරීමට නියෝගයක් පැනවීමයි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය තොරතුරු කොමිසම වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කරන ලදී.
මේ අතර, ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ පළමු වතාවට විවිධ දේශපාලන පක්ෂවලට අයත් 7 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිය වත්කම් හා බැරකම් ප්‍රසිද්ධියට පත් කළ හ. තාරක බාලසූරිය, වාසුදේව නානායක්කාර, එම්.ඒ. සුමන්දිරන්, විදුර වික්‍රමනායක, රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක සහ සයිඩ් අලි සහීරි මව්ලානා එම මන්ත්‍රීවරුන් හත්දෙනා ය.
වත්කම් හා බැරකම් ප්රකාශනය තුළින් මූලිකවම අරමුණු කරගන්නේ, පාලකයා මහජන දේපල පොදිගසා ගැනීම වැළැක්වීම හා අධෛර්යයට පත් කිරීමයි.
සැබවින්ම වත්කම් ප්‍රකාශ යනු මොනවාද? මහජන නියෝජිතයන් සහ උසස් රාජ්‍ය නිලධාරීන් විසින් මහජන දේපල වංචා නොකළ බවට සහතික කිරීම මෙහි මූලිකම අභිප්‍රාය වේ. තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, කිසියම් මහජන නියෝජිතයෙකු හෝ උසස් රාජ්‍ය නිලධාරියෙකු සතුව ඔහුගේ හෝ ඇයගේ සාමාන්‍ය නීත්‍යානුකූල ආදායම් මාර්ගයට පරිබාහිරව උපයාගත් කිසියම් දේපලක් වේ නම්, එය දූෂණ වංචා මගින් උපයාගත් දේපලක් ලෙස වත්කම් ප්‍රකාශන නීතිය යටතේ පිළිගැනෙනු ඇත. එවැනි අවස්ථාවක අදාළ මහජන නියෝජිතයාට හෝ රාජ්‍ය සේවකයාට එම අමතර දේපල නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් හරහා උපයාගත්තක් බවට ඔප්පු කිරීමට සිදු වේ. එලෙස ඔප්පු කිරීමේ ක්‍රියාවලිය වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් කිරීම ලෙස හැඳින්වේ.
කෙසේ වුවද වත්කම් බැරකම් ප්රකාශනය යනු, සැමවිටම දූෂිත නිලධාරීන් දේශපාලකයින් පිළිබඳ හෙළිදරව් කිරීමේ යාන්ත්‍රණයක් පමණක් ම නොවේ. එය අවංක පුද්ගලයින් චෝදනාවලින් හා සැකයට භාජනය වීමෙන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදය ද වේ. මක්නිසාද යත්, රටක දේශපාලන ක්‍රියාවලිය තුළ තොරතුරු මහජන දැනගැනීම පිණිස හැකිතාක් නිරාවරණය කිරීම, දූෂණ වංචා සිදුවීම්වලට එරෙහිව ගත හැකි සාර්ථකම පියවරයි. තොරතුරු මහජනතාව හා මාධ්‍ය වෙත නිරාවරණය වන තරමට රටක පාලන තන්ත්රය හොබවන පුද්ගලයින් තම ක්‍රියාවන් කෙරෙහි වඩාත් වගවීමෙන් යුතුව කටයුතු කරන බව පැහැදිලි ය.
අනෙක් අතට තොරතුරු මහජන ඇසට වැසී තිබෙන තරමට බලධාරීන් සිය ක්‍රියාවන් කෙරෙහි වගවීමෙන් බොහෝ දුරට බැහැර වේ. වත්කම් බැරකම් ප්රකාශනය හරහා සිය වත්කම් ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් දූෂණ වංචා හෙළිවීමට මග පෑදෙන අතරම අවංක බලධාරීන් චෝදනාවට හෝ සැකයට භාජනය වීම වැළකීමත් ඔවුන් සිය ක්‍රියාවන් කෙරෙහි වඩාත් වගවීමෙන් බැඳීමටත් පෙළඹෙනු ඇත.
ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව, වත්කම් බැරකම් ප්‍රකාශ සිදු කළ යුතු පුද්ගලයන් හා එම පුද්ගලයින් සිය වත්කම් ප්‍රකාශ සිදු කළ යුත්තේ කුමන ආයතනයක් යටතේද යන්න 1975 අංක 01 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශන පනතින් දක්වා ඇත.
ඒ අනුව, කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයාට ද, අමාත්‍යංශ නිලධාරීන් අමාත්‍යංශ ලේකම්වරයාට ද යනාදී වශයෙන් විවිධ ආයතනවල නිලධාරීන් සිය ආයතන ප්‍රධානියාට සිය වත්කම් ප්‍රකාශ සිදු කළ යුතුය.
කෙසේ වුවද, මෙම ක්‍රියාවලියේ පවතින ලොකුම දුර්වලතාව නම්, වත්කම් බැරකම් ප්‍රකාශන ලිපිගොනුවලට පමණක් සීමා වී තිබීම හා පොදු ජනතාවට පහසුවෙන් මෙම ලිපි ගොනුවලට අවතීර්ණ වීමට හෝ ඒවායේ නිරවද්‍යභාවය තහවුරු කිරීමට නිසි යාන්ත්‍රණයක් ඇති කර නොතිබීමයි. මෙම තොරතුරු විශ්ලේශනය කිරීමට හෝ තහවුරු කිරීමට නිසි ක්‍රමවේදයක් නැත.
අදාළ දේශපාලකයන්, නිලධාරීන් ආදිය වාර්ෂිකව වත්කම් ප්‍රකාශ පත්‍ර පුරවා ආයතනවල ගොඩගසා තිබූ පමණින් එම යාන්ත්‍රණය නිසි පරිදි රට තුළ ක්රියාක්මක වනවා යැයි පිළිගත නොහැකි ය. වත්කම් බැරකම් ප්‍රකාශ හරහා වගකිව යුත්තන් ජනතාවට වගවීමට බැඳී සිටින බව ඔප්පු කළ යුතු ය. එසේ ඔප්පු කිරීම තුළින් අදාළ නීතියේ ඵලදායීතාවය තහවුරු කළ යුතු ය.