නම්‍යශීලී යහපාලන රජය වෙනස් වීමට පෙර වැටුප් ඉල්ලීම් ඉදිරියට දමමින් දියත් වන වෘත්තීය සමිති වර්ජන රැල්ලේ කූටප්‍රාප්තිය මෙම දිනවල සිදුවෙමින් තිබෙන අතර, පාසල්, දුම්රිය වැනි රාජ්‍ය අංශයේ බොහෝ අංග කඩාකප්පල් වී තිබේ.
(ලිපිය දැන්වීමෙන් පසු)රජය විසින් 2015 සිට මේ දක්වා රජයේ සේවක වැටුප් සියයට එකසිය හතකින් වැඩි කරන ලද මුත්, රජයේ සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජය සමත් වූයේ නැත. ඒ වෙනුවට රජයේ සේවයේ වෘත්තීන් රැසක් වෙනත් සේවාවන්ට තම සේවාව සාපේක්ෂ කර පෙන්වමින් වැටුප් විෂමතා ඇති වූ බව කියා වැඩ වර්ජනය ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹ තිබේ.
මෙම වර්ජන රැල්ලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිටුපසින් සිට සහයෝගය දක්වන මුත්, ඒවා මෙහෙයවන්නේ පොදුජන පෙරමුණ නොවේ. මෙකී වෘත්තීය සමිති නායකයන්ට තමන්ගේ වෘත්තියට අදාළ ගැටලු මිස අනෙකුත් කිසිවක් අදාළ නැත.
වර්තමාන වෘත්තීය සමිති නායකයන්ට පුළුල් දේශපාලන දැක්මක් නැත. ඔවුන් පටු පදනමින් එජාප විරෝධී ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා වර්තමානයේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වමේ යයි සිතති. රජය කරන ඕනෑම දෙයකට ඔවුන් විරුද්ධ ය. තමන්ගේ ක්ෂේත්‍රයේ වැටුප් ඉල්ලීම් හැර, සේවා ගුණාත්මකභාවය සම්බන්ධ කිසිදු ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන් ඔවුන්ට ඉල්ලීම් නැත. මහජන සේවය සම්බන්ධ යහ ආකල්ප රජයේ සේවකයන්ටත් වඩා නැත්තේ වෘත්තීය සමිති නායකයන්ට ය. ඔවුන් සමග වැඩිපුර ම එකතු වන්නේ රාජකාරිය හරියට නොකර වෘත්තීය සමිති හයියෙන් ඇඟ බේරාගන්නා අයයි. වෘත්තීය සමිති ක්‍රියාකාරීන් යනු නිරන්තරයෙන් උසස්වීම්, මාරුවීම් හා වෙනත් වාසි වෙනුවෙන් සමිති නායකයන්ට බැලමෙහෙ කරන්නෝ ය.
වර්තමාන වෘත්තීය සමිති වර්ජන රැල්ලට වැටුප් මඳකමට වඩා හේතු වන්නේ වැටුප් විෂමතා ය. මෙම වැටුප් විෂමතා වනාහි අප කලින් ද විස්තර කළ පරිදි ප්‍රායෝගිකව විසඳිය නොහැකි ඒවා ය.
රජයේ සේවකයන් රජයට විරුද්ධ ය. එයට හේතුව රජය තිබෙන නිසා ඔවුන්ට වැඩ කරන්නට සිදුවෙන එක ය. එහෙත්, තමන්ට වැටුප් ලැබෙන්නේ ද රජය නිසා බව ඔවුහු නොදනිති. රජය තියෙන්නේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට ය. රජයේ සේවකයන් මහජනයා ඉදිරියේ ඒ වැටුප සාධාරණීකරණය වන මට්ටමට හෝ වැඩ කළ යුතු ය. එහෙත්, දැන් දැන් රජයේ සේවකයන්ට එහි ද වගේ වගක් නැත. රජය විසින් ම රජය අරාජික කරමින් තිබේ. රජයේ සේවකයන්ටත්, ඔවුන්ගේ වෘත්තීය සමිති නායකයන්ටත්, දේශපාලකයන්ටත්, මේ රටේ මහජනතාව වන අපටත් රජය යනු කුමක් ද යන කාරණය ගැන කිසිදු අවබෝධයක් ඇති බවක් නොපෙනේ.
ජනාධිපතිවරණයක් හමුවේ මෙම ගැටලු විසඳීමේ හැකියාවක් රජයට නැත. මෙම වර්ජනවලින් සිදුවන්නේ මහජනයා අපහසුවට පත්වීම පමණි. එහෙත්, රජයේ නිලධාරීහු වර්ජන කරති.
ගෝඨාභය රාජපක්ෂගේ පාලනයක් යටතේ රාජ්‍ය අංශය සම්බන්ධයෙන් දැඩි පාලනයක් සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙකී කිසිදු ගැටලුවක් විසඳන බවට ඔවුන් පොරොන්දු වන්නේ නැත.
අනාගතයේ කුමන රජයක් යටතේ වුව ද, රාජ්‍ය අංශය සම්බන්ධයෙන් දැඩි පාලනයක් පැවතිය යුතු ය. රජයේ සේවයේ වත්මන් කණගාටුදායක තත්වයට කුමක් කරන්නේ ද යන්න ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල අනිවාර්යයෙන් අඩංගු විය යුතු ය. කරන දෙය කෙළින් කිව යුතු ය. කළ යුතු ය. රජයේ සේවයේ මෙම ගැටලුව විසඳන ආකාරය මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන තේමාවක් බවට පත් කළ යුතු ය.