කරවනැල්ලෙ ඉස්ටේසම ටිකට් දෙන
රුවන්වැල්ලෙ කන්තෝරුව ලියුම් දෙන
කොටියකුඹුරෙ ඉස්ටෝරුව බඩු කිරන
මාබෝගල පතලයි මම වැඩ කරන
ඉහත දැක්වෙන්නේ 20වන සියවස මුල ප්‍රචලිත වූ ජනකවියකි. කරවනැල්ල දුම්රියපොළ පිහිටා තිබූ අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා වූ දුම්රිය මාර්ගයවත් 1942න් පසු දකින්නට නැත. එහෙත්, මේ පතල් කවිය තව සෑහෙන කාලයක් ජනවහරේ තිබෙනු ඇත.
මෙම ජනකවිය සිහිපත් වූයේ මේ දිනවල ඉස්ටේසන්වල ටිකට් නොදෙන නිසා ය.
දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේදී සහ පාර්සල් බාර ගැනීමේදී දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙනුවෙන් කිසිදු ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බැවින් ඊයේ (17) මධ්‍යාහ්න 12 සිට එම කටයුතුවලින් වැළැකී සිටීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීයසමිතිය තීරණය කර ඇත.
ඒ අනුව, ඊයේ දුම්රිය මගීන්ට ටිකට් නිකුත් කළේ නැත. එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වන පාඩුව ගැන මෙම දුම්රිය සේවක පිරිස මොහොතකටවත් සිතුවේ නැත.
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉන්නේ ටිකට් නිකුත් කරන්නට නොවුණත්, ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩි පිරිසක් විසින් කරනු ලබන ප්‍රධාන කාර්යය වන්නේ ටිකට් නිකුත් කිරීමයි.
එහිදී ඔවුන් අනාරක්ෂිත වන බව ඇත්තකි. එසේ අවදානමට ලක් වන තවත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සිටිති. වෙළඳසල් සේවකයන්, බස් සේවකයන්, බැංකු සේවකයන්, රෝහල් සේවකයන් ආදීන් ද මේ හා සමාන හෝ ඊටත් වඩා අවදානමට ලක්වෙති. එහෙත්, ඒ බොහෝ අය මැසිවිල්ලකින් තොරව තම කාර්යය ඉටු කරන අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් පමණක් මෙම අර්බුද අවස්ථාවේ වර්ජනයක් කරති.
දුම්රිය ස්ථානවල ටිකට් නිකුත් කරන්නේ යම් දුරකට ආරක්ෂිත කවුළු ඔස්සේ ය. ඒවායේ මගියා සහ ටිකට් දෙන නිලධාරියා අතර යම් දුරක් හා ආවරණයක් පවා තිබේ. ගැටලුවක් තිබේ නම් වර්ජන නොකර සරලව විසඳාගත හැකි ය. තම බලධාරීන් සමග සාකච්ඡා කර මුඛ ආවරණ සපයාගත හැකිව තිබිණි. අත් මේස් සපයාගත හැකිව තිබිණි. දෑත් සේදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සපයාගත හැකිව තිබිණි. ඒවා රජය සපයන විට කල් ගත වේ නම් පෞද්ගලිකව සපයාගත හැකිව තිබිණි. වර්ජන කරන වෘත්තීය සමිතිවලට මැදිහත් වී ඒවා සැපයිය හැකිව තිබිණි. මේ සම්බන්ධ තීරණ තීන්දු ගන්නට ආණ්ඩුව, ඇමතිවරයා තබා දුම්රිය මහ කළමනාකාරවරයා හෙවත් ඔවුන් සාමාන්‍යාධිකාරිවරයා යනුවෙන් හඳුන්වන තනතුරේ මට්ටමටවත් යා යුතු නැත. එහෙත්, ඒ කිසිවක් නොකර ඔවුහු ටිකට් විකිණීම වර්ජනය කළ හ.
තමන් සේවය කරන ආයතනයට ආදරය නොකරන, එය පාඩු ලබා විනාශ වීම ප්‍රාර්ථනා කරන මෙවැනි රාජ්‍ය සේවකයන් සමග රටකට කොරෝනා වසංගතය වැනි හදිසි තත්වයකට මුහුණ දිය නොහැකි ය. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ද තිබෙන ප්‍රධාන බාධකය මෙවැනි රාජ්‍ය සේවකයන් හා ඔවුන් නියෝජනය කරන බව කියන ප්‍රතිගාමී වෘත්තීය සමිති ය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මෙම වර්ජනය සුළු සිද්ධියක් වුව ද, එමගින් සමස්ත රාජ්‍ය සේවය සමග ම සම්බන්ධ ඉතා බරපතල ගැටලුවක් සංකේතාත්මකව නිරූපණය වේ. මෙම ගැටලුව විසඳාගැනීමෙන් තොරව ලංකාව සංවර්ධනය කළ නොහැකි ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වී තිබෙන්නේ කුමක් සඳහා ද යන්න අපට තවමත් පැහැදිලි නැත. එහෙත්, වේගවත් සංවර්ධනයක් ඇතිකිරීම සඳහා ඔහුට සැබෑ උවමනාවක් තිබේ නම් මෙවැනි රාජ්‍ය ආයතන හා එහි සේවකයන් කෝවේ දමා මකා නැවත වැක්කිරිය යුතුව තිබේ. ඔහුට බලය අවශ්‍ය වන්නේ ඒ සඳහා විය හැකි ය.